
නවසීලන්තයේ Māori ගෝත්රිකයන් අතිශය පූජනීය සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන ‘පෞනාමු’ (Pounamu) හෙවත් නවසීලන්ත හරිත මැණික් (Greenstone) කිලෝග්රෑම් 18ක් නීතිවිරෝධී ලෙස චීනයට අපනයනය කිරීමට උත්සාහ කළ මවකට සහ පුතෙකුට මනුකාවු දිසා අධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.
පෞනාමු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයන් වරදකරුවන් වී දඬුවම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
බෝයුවාන් ෂැං (Boyuan Zhang) සහ ඔහුගේ මව වන සින් ලී (Xin Li) නමැති මෙම චීන ජාතිකයන් දෙදෙනා ඕක්ලන්ඩ් ගුවන් තොටුපළේදී සිය ගමන් මලුවල සඟවාගෙන තිබූ මෙම පූජනීය පාෂාණ තොගය සමඟ රේගු නිලධාරීන්ට කොටු විය. අධිකරණය හමුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්රකාශ කළේ මෙය නීතිවිරෝධී ක්රියාවක් බව ඔවුන් නොදැන සිටි බැවින් දඬුවමෙන් නිදහස් කරන ලෙසයි. නමුත් රේගු පැමිණිල්ල එය ප්රතික්ෂේප කළේය.
අවසානයේදී විනිසුරු රිචඩ් මැක්ඉල්රයිත් විසින් ඔවුන් දෙදෙනාට පිළිවෙළින් නවසීලන්ත ඩොලර් 3,000ක සහ 2,000ක දඩ මුදල් නියම කළ අතර, අත්අඩංගුවට ගත් මිල කළ නොහැකි පෞනාමු තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මෙම තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් මාවෝරි Iwi ගෝත්රික නායිකා ලීසා ටුමහායි ප්රකාශ කළේ, “මෙය නිකම්ම නීතිය උල්ලංඝනය කිරීමක් නෙවෙයි, අපේ පරම්පරාගත උරුමයට කළ අපහාසයක්. අපේ සංස්කෘතිය සල්ලිවලට විකුණන්න බැහැ” යනුවෙනි. නවසීලන්ත රේගු නිලධාරීන් ද මෙම ඓතිහාසික ජයග්රහණය දේශසීමා කාර්යාලයේදී කේක් කපා සමරා ඇති අතර, කළු කඩ ජාවාරම්කරුවන්ට මින් ඉදිරියට ගැලවීමක් නැති බවට මාවෝරි නායකයෝ දැඩි ලෙස අනතුරු අඟවති.

0 Comments