← BACKUncategorized

හෙලිකොප්ටරයක් බිම හෙළූ මාරක උගුලක්!

BY DhanushPUBLISHED JUNE 18, 20261 MIN READ0 COMMENTS

පහත් උන්නතාංශවල (පහළින්) පියාසර කරන ගුවන් යානා සහ හෙලිකොප්ටර් සඳහා ග්‍රාමීය ප්‍රදේශවල අතහැර දමා ඇති පැරණි වැටවල් කෙතරම් මාරාන්තික අනතුරක් විය හැකිද යන්න පෙන්වා දෙමින් නවසීලන්තයෙන් අතිශය කනගාටුදායක පුවතක් වාර්තා වේ. මිනිස් ජීවිත දෙකක් අහිමි කරමින් වෙලින්ටන් නුවරට ආසන්න Transmission Gully ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරට හේතුව පැරණි කම්බි වැටක් බව නවසීලන්ත සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) මූලික විමර්ශන වාර්තාව පවසයි.

🔴 සිදු වූයේ කුමක්ද?
2026 ජනවාරි 28 වන දින, වල් එළුවන් සහ මුවන් පාලනය කිරීමේ (දඩයම් කිරීමේ) නිරතව සිටි හියුස් Hughes 269C වර්ගයේ කුඩා හෙලිකොප්ටරයක් මෙම අනතුරට මුහුණ පෑවේය. එහි ගමන් ගත්තේ 54 හැවිරිදි පළපුරුදු ගුවන් නියමුවෙකු වූ ජෝසප් කීලි සහ 25 හැවිරිදි දඩයම්කරුවෙකු වූ කෝල් රිචී ය.

ගමන අතරතුර දඩයම්කරුගේ තුවක්කුව සිරවීම නිසා, එය ආරක්ෂිතව යළි නිවැරදි කරගැනීම සඳහා නියමුවා විසින් හෙලිකොප්ටරය තණකොළ සහ කුඩා පඳුරු වැවුණු සමතලා බිමක තාවකාලිකව ගොඩබස්වන ලදී.

පසුව නැවත ගුවන්ගතවීමේදී කළුකුහර සහ ඝන පඳුරු නිසා එම ස්ථානයේ තිබූ පැරණි කම්බි වැටක් නියමුවාට හෝ අනෙක් පුද්ගලයාට කිසිසේත්ම දර්ශනය වී නොතිබුණි. තුවක්කුව සකසා ගැනීමෙන් පසු හෙලිකොප්ටරය නැවත ගුවන්ගත කිරීමට උත්සාහ කිරීමේදී, එහි වම්පස ආධාරක යකඩය (Landing Skid) පඳුරු අස්සේ තිබූ පැරණි කම්බි වැටක පටලැවුණි.

💥හෙලිකොප්ටරය ඉහළට ඇදී යද්දී:
👉🏻 වැටෙන් ගැලවුණු දිගු කම්බි පටියක් වේගයෙන් ඉහළට විසිවී ගොස් හෙලිකොප්ටරයේ පසුපස රෝටරයේ (Tail Rotor) තදින් වෙළුණි.
👉🏻 මේ හේතුවෙන් හෙලිකොප්ටරයේ සමබරතාවය සහ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය.
👉🏻 නියමුවා එය පාලනය කිරීමට උපරිම උත්සාහයක් ගත්තද, හෙලිකොප්ටරය කැරකෙමින් මීටර් 100ක් පමණ ඉහළ සිට සිරස් අතට බිමට කඩා වැටුණි.

මෙම දරුණු අනතුරෙන් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එහි සිටි පුද්ගලයන් දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූහ.
ගුවන් සේවා බලධාරීන් පවසන්නේ ග්‍රාමීය සහ කැලෑබද ප්‍රදේශවල පඳුරුවලින් වැසී පවතින මෙවැනි අතහැර දැමූ කම්බි වැටවල් සහ විදුලි රැහැන්, අඩු උන්නතාංශවල පියාසර කරන හෙලිකොප්ටර් සඳහා “නොපෙනෙන මාරක උගුල්” බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *