← BACKCrime

ඕක්ලන්ඩ් පොලිසියේ දැවැන්ත ‘ඔපරේෂන් ග්‍රීන්’ මෙහෙයුම මෙන්න!

BY DhanushPUBLISHED JUNE 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Auckland නගරයේ සාමාන්‍ය නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක අපරාධ කල්ලිවල මත්ද්‍රව්‍ය ජාලයක් කුඩුපට්ටම් කිරීමට එරට පොලිසිය සමත්ව තිබේ. “Operation Green” ලෙස නම් කර ඇති මෙම දැවැන්ත මෙහෙයුමේදී බටහිර ඕක්ලන්ඩ් හි Hillsborough, New Windsor, Mount Roskill, සහ Mount Albert යන ප්‍රදේශවල පිහිටි නිවාස හතරක් වටලනු ලැබීය.

මෙම හදිසි වැටලීම්වලදී අති-නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් නිවාස තුළ රහසිගතව වගා කර තිබූ ගංජා පැල 486ක් සහ වාණිජ මට්ටමේ වගා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය පවසන පරිදි මෙම අපරාධ කල්ලි සාමාන්‍ය පවුල් ලෙස පෙනී සිටිමින් නිවාස කුලියට ගෙන, ඒවා තුළ මෙවැනි නීතිවිරෝධී වගාවන් සිදුකර තිබේ.

වඩාත්ම භයානක කරුණ නම්, මෙම ජාවාරම්කරුවන් වගාවන් සඳහා වසරකට ඩොලර් මිලියන ගණනක් වටිනා විදුලිය ප්‍රධාන මාර්ගවලින් හොර රහසේ ලබාගෙන තිබීමයි. මේ සඳහා ඔවුන් විසින් සිදුකර ඇති අනාරක්ෂිත විදුලි රැහැන් ඇදීම් හේතුවෙන් මෙම නේවාසික නිවාස දැඩි ගින්නක් ඇතිවීමේ අවදානමකට ද ලක්ව තිබුණි. මෙම ජාවාරම් හරහා උපයන මුදල් වෙනත් මහා පරිමාණ අපරාධ සහ මැර කල්ලි නඩත්තු කිරීම සඳහා යොදවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී කෝරි ෆොස්ටර් ප්‍රකාශ කළේය.

“මෙම වගාවන් වටලා විනාශ කිරීම තුළින් අපරාධ කල්ලි වෙත ගලායෑමට තිබූ විශාල මුදල් කන්දරාවක් නතර කිරීමට අපට හැකි වුණා.”

මෙම තත්ත්වය සලකා බලා, තම නිවාස කුලියට දීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය නිවාස හිමියන්ට අනතුරු අඟවයි. එමෙන්ම, සැකකටයුතු ලෙස ජනේල සම්පූර්ණයෙන්ම වසා ඇති, නිතරම විශාල විදුලි පංකා ක්‍රියාත්මක වන ශබ්දය ඇසෙන හෝ අමුතු ගන්ධයක් වහනය වන නිවාස පිළිබඳව වහාම තොරතුරු සපයන ලෙස පොලිසිය අසල්වාසීන්ගෙන් ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *