
නවසීලන්ත රජය එරට වෙසෙන හිටපු සරණාගතයින් (Former Refugees) සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වීමේ දොරටු විවර කරමින් සුවිශේෂී ශිෂ්‍යත්ව වැඩසටහනක් (New Zealand Refugee Health Scholarship) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Health New Zealand (Te Whatu Ora) ඒකාබද්ධව දෙවන වරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සුදුසුකම් ලබන සෑම සිසුවෙකුටම සිය අධ්‍යාපන සහ ජීවන වියදම් වෙනුවෙන් වසරකට නවසීලන්ත ඩොලර් 25,000ක් දක්වා උපරිම මූල්‍ය ආධාරයක් හිමිවේ. මෙමගින් වෛද්‍ය, හෙද හෝ වෙනත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක උපාධි හෝ පශ්චාත් උපාධි හදාරන සිසුන්ට සිය උපකාරක පන්ති ගාස්තු සහ නේවාසික වියදම් පියවා ගැනීමට මහා ශක්තියක් ලැබේ.
මෙම ශිෂ්‍යත්වයේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දී නවසීලන්තයට පැමිණි සරණාගත ප්‍රජාවට සමාන අධ්‍යාපන අයිතිවාසිකම් ලබා දීමයි. එමෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙවැනි විවිධ සංස්කෘතික පසුබිම් සහිත වෘත්තිකයන් බිහිවීම හරහා, සරණාගත පසුබිම්වලින් පැමිණෙන රෝගීන්ට වඩාත් හොඳ සහ සහකම්පනයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් සැපයීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි.
“විවිධ භාෂාවන් සහ සංස්කෘතීන් හඳුනන වෘත්තිකයන් සෞඛ්‍ය පද්ධතියට එකතු වීම, රෝහල් කරා පැමිණෙන සරණාගත ජනතාවගේ විශ්වාසය සහ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමට සෘජුවම දායක වෙයි.” – රජය පවසයි.
මෙම ශිෂ්‍යත්වය සඳහා වන අයදුම්පත් 2026 ජූලි 1 වනදා සිට විවෘත වන අතර, 2026 ඔක්තෝබර් 1 වනදා දක්වා Universities New Zealand වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකිය. අවම වශයෙන් වසරක උසස් අධ්‍යාපනයක් සාර්ථකව නිම කර ඇති, තවදුරටත් අධ්‍යයන කටයුතු ඉතිරිව පවතින සිසුන්ට මේ සඳහා ඉදිරිපත් විය හැක.

0 Comments