← BACKCrime

නවසීලන්තයේ ව්‍යාපාරික හීනයක් දකින්න කලින් අනිවාර්යයෙන් මේක කියවන්න!

BY Dhanush•PUBLISHED JULY 2, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තය වැනි රටක ස්වකීය ජීවන සිහින සැබෑ කරගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුගේ ප්‍රධානතම බලාපොරොත්තුවක් තමයි තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා ස්ථාවර වෙන එක. හැබැයි, ඒ අවංක උත්සාහය සූක්ෂ්ම ලෙස ගොදුරු කරගන්නා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් තිරය පිටුපස ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ.

මෙය හුදෙක් සාමාන්‍ය ව්‍යාපාරික පාඩුවක් පිළිබඳ පුවතක් නොවෙයි. සංක්‍රමණිකයන්ගේ මහන්සිය සහ සේසතම සූරාකන මූල්‍ය උගුලක අඳුරු ඇතුළාන්තය හෙළිදරව් කිරීමක්. ‘ලක්කිවි’ අප, යුක්තිය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික පවුලක අත්දැකීම් ඇසුරෙන් මේ මහා පරිමාණ ජාවාරමේ සැබෑ තත්ත්වය විමර්ශනය කරන්නේ ඔබව මෙවැනි උගුල්වලින් බේරාගැනීමේ පරම අරමුණින්.

(නීතිමය පියවර සහ වින්දිතයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මෙම වංචනික ක්‍රියාවලියට වගකිව යුතු ආයතනය මෙම ලිපිය තුළ “CC ක්ලීන්” යන අනුවර්ත නාමයෙන් හඳුන්වමු.

🔴 වින්දිත ලාංකිකයාගේ පාපොච්චාරණය.
2015 වසරේදී නවසීලන්තයට පැමිණි මෙම ශ්‍රී ලාංකික කාන්තාව, වසර ගණනාවක් පුරා පිරිසිදු කිරීමේ (Cleaning) ක්ෂේත්‍රයේ දැඩි කැපවීමෙන් අර්ධකාලීන රැකියා කළ අයෙකි. ඇයගේ එකම අරමුණ වූයේ පවුලේ අනාගතය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් ඇය සතු වූ සියලුම ඉතුරුම් මෙන්ම, නවසීලන්ත ඩොලර් 28,000ක බරපතළ බැංකු ණයක්ද ලබා ගනිමින්, සමස්තයක් ලෙස ඩොලර් 29,900ක මුදලක් “CC ක්ලීන්” සමාගමේ ෆ්‍රැන්චයිස් (Franchise) බලපත්‍රයක් මිලදී ගැනීමට ආයෝජනය කළාය.

ගිවිසුම අත්සන් කෙරුණේ 2025 සැප්තැම්බර් මාසයේදීය. එතැන් සිට සමාගම විසින් පුහුණු සැසි සහ මූලික අවශ්‍යතා පෙන්වමින්, සිතාමතාම වැඩ ආරම්භ කිරීම ප්‍රමාද කිරීමේ උපක්‍රම දියත් කර තිබේ. ඇයට ක්ෂේත්‍රය පිළිබඳ වසර ගණනාවක පූර්ව අත්දැකීම් තිබියදීත්, සමාගම ඉල්ලා සිටි සියලුම කොන්දේසි ඇය සාර්ථකව නිම කළාය.

ලිඛිත ගිවිසුමට අනුව සති 20ක් ඇතුළත ප්‍රමාණවත් පරිදි වැඩ ලබා දීමට සමාගම බැඳී සිටියේය. එහෙත් මාස හයකට අධික කාලයක් බලා සිටීමෙන් පසු, 2026 මාර්තු මස අගභාගයේදී ඇයට පවරා දුන් කාර්යයෙන් උපයාගත හැකි වූයේ සතියකට ඩොලර් 80ක් වැනි ඉතාමත් සුළු මුදලකි.
මෙය ව්‍යාපාරික අසාර්ථකත්වයකට වඩා, ආයෝජකයාව මානසිකව වට්ටවා, තමන්ම ව්‍යාපාරයෙන් ඉවත් වන තැනට පත් කිරීමට දියත් කළ සූක්ෂ්ම මූල්‍ය පීඩනයකි. වින්දිතයාගේ සැමියා මේ පිළිබඳව ආයතනයේ කළමනාකාරිත්වයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළද, ඔවුන්ගෙන් ලැබුණේ පරස්පර විරෝධී සහ වගකීම් විරහිත පිළිතුරු පමණි.

🔴 ජාවාරම ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි!
මේ පිළිබද අප දිගින් දිගටම සොයා යාමේදී තහවුරු වූයේ මීට පෙරද මෙවැනි කූට ජාවාරම් කරුවන්ට හසුවී තම මුදල් අහිමි කරගත් තවත් සංක්‍රමණිකන් සිටින බවයි.ප්‍රධාන පෙළේ මාධ්‍ය විමර්ශන (Stuff පුවත් පතේද පළවූ මෙවැනිම විමර්ශන වාර්තා) මගින් තහවුරු වන පරිදි, මෙය එක් පවුලකට පමණක් සිදුවූ හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ආයතනික උපක්‍රමයකි.

🔴 එහි ප්‍රධාන ලක්ෂණ මෙසේය,

👉🏻 වංචනික වෙළඳ දැන්වීම්: මොවුන් දේශීය සංක්‍රමණික ගුවන්විදුලි නාලිකා (විශේෂයෙන්ම හින්දි නාලිකා) හරහා ආකර්ෂණීය දැන්වීම් දමමින්, වසර දෙකකට ඩොලර් 120,000ක “ස්ථිර ආදායමක්” (Guaranteed Income) සහතික කරන බව පවසා අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ව දැලට හසුකර ගනී.

👉🏻 නීතිමය සිදුරුවලින් රිංගා යාම (Legal Loophole): වින්දිතයන් සේවකයන් (Employees) ලෙස නොව, ස්වාධීන ව්‍යාපාරිකයන් (Independent Contractors) ලෙස ගිවිසුම්ගත කිරීම නිසා ඔවුන්ට නවසීලන්ත කම්කරු නීතිවල හෝ අවම වැටුප් පනතේ රැකවරණය අහිමි වේ. මෙම සමාගම ඉතා අඩු මිලට ටෙන්ඩර් ලබා ගන්නා අතර, එහි පාඩුව විඳීමට සිදුවන්නේ ෆ්‍රැන්චයිස් හිමියන්ටය.

👉🏻 නීතිමය බියවැද්දීම්: වින්දිතයන් මාධ්‍ය වෙත හෝ ප්‍රසිද්ධියේ මේ පිළිබඳව හඬක් නැගීමට උත්සාහ කරන විට, සමාගමේ නීතිඥයන් මාර්ගයෙන් අපහාස නඩු (Libel/Defamation) පවරන බවට තර්ජනය කර ඔවුන්ව නිශ්ශබ්ද කිරීමට සමාගම කටයුතු කරයි.

කෙසේ වුවද, මෙම ලාංකික පවුල මෙම ආයතනික බියවැද්දීම් හමුවේ පසුබැසීමට සූදානම් නැත. ඔවුන් මේ වන විට නීතිඥ උපදෙස් මත සිවිල් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වී ඇත. මෙම නීතිමය සටන සඳහා අධික පිරිවැයක් වැයවන බැවින්, ඒ සඳහා සහය වීමට Givealittle සමූහ අරමුදල් පිටුවක් ද ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටී. ඔවුන් සතු සියලුම ඩිජිටල් සාක්ෂි සහ ඊමේල් පණිවිඩ මේ වන විටත් නීතිමය වශයෙන් පෙළගස්වා ඇත.

‼️ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත කෙරෙන පූර්ව අනතුරු ඇඟවීම.
මෙවැනි සූක්ෂ්ම මූල්‍ය අපරාධවලට අපේම ලාංකිකයන් බිලිවීම වැළැක්වීම උදෙසා පහත සඳහන් නිර්ණායකයන් දැඩි ලෙස අනුගමනය කරන ලෙස ලක්කිවි අපි ඔබට අවධාරණය කර සිටිමු.

👉🏻 “Guaranteed Income” ප්‍රෝඩාව හඳුනාගැනීම: ව්‍යාපාරික ලෝකයේ කිසිදු ආයතනයකට ස්ථාවර ආදායමක් නිරපේක්ෂව සහතික කළ නොහැක. වසරකට මෙපමණ මුදලක් ස්ථිරවම දෙනවා යැයි පවසන ආකර්ෂණීය වෙළඳ දැන්වීම් පිටුපස සැඟවුණු මූල්‍ය අවදානමක් පවතින බව මුලින්ම වටහාගත යුතුය.

👉🏻 පූර්ව පර්යේෂණ සිදුකිරීම: ඕනෑම විශාල ආයෝජනයකට පෙර, අදාළ සමාගම සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය පළ කර ඇති විමර්ශනාත්මක වාර්තා, සමාජ මාධ්‍ය ප්‍රතිචාර සහ ඔවුන්ගේ නීතිමය ඉතිහාසය Google හරහා ඉතා සූක්ෂ්මව පරික්ෂා කරන්න.

👉🏻 ස්වාධීන නීතිමය විශ්ලේෂණයක් ලබාගැනීම: සමාගම විසින් සපයනු ලබන සංකීර්ණ ගිවිසුම් පත්‍ර (Franchise Agreements), ඔවුන්ගේම නීතිඥයන් පවසන පලියට විශ්වාස නොකර, ඔබ විසින් පත් කරගන්නා ලද ස්වාධීන නවසීලන්ත වාණිජ නීතිඥවරයෙකු ලවා අනිවාර්යයෙන්ම කියවා එහි ඇති කොන්දේසි තේරුම් ගන්න.

👉🏻 නීතිමය තත්ත්වය වටහාගැනීම: ඔබ අත්සන් කරන්නේ ‘Contractor’ හෙවත් ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු ලෙස නම්, එතැන් සිට ඔබට සාමාන්‍ය සේවකයෙකුට ලැබෙන කම්කරු දෙපාර්තමේන්තුවේ සෘජු රැකවරණය හෝ අවම වැටුප් අයිතිය අහිමි වන බවත්, සමස්ත ව්‍යාපාරික අවදානම ඔබ සතු වන බවත් මතක තබා ගන්න.

🇱🇰 වංචාවේ සෙවනැලිවලින් අපේම සහෘදයින් රැකගනිමු!
මෙම ලිපියේ පරම අරමුණ නිද්‍රාශීලී සමාජය අවදි කිරීමයි. නවසීලන්තය වැනි දුර බැහැර දේශයකට පැමිණ, දහඩිය මහන්සියෙන්, නිදි වරාගෙන ඔබ උපයන සෑම ශතයක්ම ඔබේත්, ඔබේ දරුවන්ගේත් අනාගතයයි. එවැනි උදාර සිහින, කූට වංචනිකයන්ගේ මූල්‍ය පාරාදීසයක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ නොදෙන්න!

මෙම අසාධාරණයට මුහුණ දුන් ලාංකික පවුල මේ වන විටත් බියවැද්දීම් හමුවේ නොසැලී, පොදු ප්‍රජාව වෙනුවෙන් පෙරමුණ ගෙන තිබේ. ඔවුන්ගේ මේ නීතිමය සටනටත්, ඉදිරියේදී විවෘත වන Givealittle පිටුවටත් ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස අප සැමගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙමු.

‼️ විමසිලිමත් වන්න, දැනුවත් වන්න, ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ඔබේ ආදරණීයන්ගේ සේසතද සුරක්ෂිත කරගන්න!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *