← BACKTravel

මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි! නියමුවන්ගේ උපක්‍රමශීලී පියවරෙන් මගීන් බේරෙයි!

BY DhanushPUBLISHED JULY 15, 20261 MIN READ0 COMMENTS

මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් කටුනායකින් පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකක් ගුවන් අවකාශය තුළ දැඩි අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දී තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවත් සමඟ කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

පසුගිය 14 වනදා පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ Airbus A-321 Neo වර්ගයට අයත් යානා දෙකක් මෙලෙස අනතුරට මුහුණ පා ඇත. එම ගුවන් යානා පිළිවෙළින් පස්වරු 5.10 ට ගුවන්ගත වූ UL – 229 දරන යානය කුවේට් රාජ්‍යය බලාත්, පස්වරු 6.36 ට ගුවන්ගත වූ UL – 253 දරන යානය සෞදි අරාබියේ දමාම් බලාත් පියාසර කරමින් තිබුණි.

අදාළ ගුවන් යානා ද්විත්වය මැදපෙරදිග කලාපයට ළඟාවෙත්ම, ආරක්ෂක හේතූන් මත සෞදි අරාබිය සහ කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගත්තේය. මෙම අනපේක්ෂිත අවහිරතාවය මතු වන විට, යානා දෙකටම යළිත් කටුනායක බලා පැමිණීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන ඉතිරිව තිබී නැත.
මේ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස, පියාසර පථය ආසන්නයේ ඉහළ අහසේ පැයයි විනාඩි 10 ක පමණ කාලයක් රවුම් ගසමින් රැඳී සිටීමට නියමුවන්ට සිදු විය. පසුව ගුවන් සීමාවන් යළි විවෘත කිරීමත් සමඟ, නියමුවන් විසින් අතිශය සුරක්ෂිත අයුරින් යානා අදාළ ගුවන්තොටුපොළවල් වෙත ගොඩබස්වනු ලැබීය.

මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් යානා පමණක් නොව, ලොව පුරා විවිධ ගුවන් සේවාවලට අයත් යානා රැසක්ම ගොඩබැසීමට නොහැකිව ඉහළ අහසේ සිරවී තිබූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධියට මුහුණ පෑ ගුවන් යානා දෙකම මේ වනවිට නිරුපද්‍රිතව යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ (15) දින මෙම යානා දෙකම සාර්ථක ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා තහවුරු කළේය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *