
නවසීලන්තයේ රාජ්‍ය සහ ආගමික රැකවරණ මධ්‍යස්ථාන තුළදී අතවරයන්ට, හිංසනයන්ට සහ නොසලකා හැරීම්වලට ලක්වූ වින්දිතයන්ගෙන් එරට රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් මහතා පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් සහ අසීමිතව සමාව ඇයැද සිටියේය. වසර ගණනාවක් තිස්සේ සඟවා තිබූ අඳුරු මතකයන් නැවත මතුවූ මෙම අවස්ථාව මුළු පාර්ලිමේන්තු සංකීර්ණයම අතිශය සංවේදී සහ හැඟීම්බර තැනක් බවට පත් කළේය.
මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වූ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හඬා වැටෙමින් තමන් මුහුණ දුන් අසාධාරණයන් පිළිබඳව නැවත මතක් කළ අතර, කුඩා අවදියේදී රාජ්‍ය රැකවරණය යටතේ සිටි ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය කරෙන් චෝර් මහත්මියද වින්දිතයන්ගේ වේදනාව හමුවේ දැඩි ලෙස සංවේදීව කඳුළු සලනු දක්නට ලැබිණි.
1950 සිට 2019 දක්වා කාලය තුළ ළමයින් සහ අසරණ වූ වැඩිහිටියන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස විවිධ වදහිංසාවලට ලක්ව ඇති බව සෙවීම සඳහා පත්කළ රාජකීය පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් හෙළිවීමෙන් පසුව මෙම සමාව අයැදීමේ තීරණය ගන්නා ලදී. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන, පොලිසිය සහ සෞඛ්‍ය අංශ මගින් සිදුවූ මෙම දැවැන්ත වැරදි සහ නොසලකා හැරීම් වෙනුවෙන් රජය සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ගැලරියේ සිටි වින්දිතයන් ප්‍රකාශ කළේ හුදෙක් වාචික සමාව ඇයැදීමකින් පමණක් තමන්ට සිදුවූ අසමසම හානිය පියවිය නොහැකි බවයි. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ පීඩාවට පත් පිරිස් වෙනුවෙන් සාධාරණ ජාතික වන්දි ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙසත්, අනාගතයේදී කිසිදු දරුවෙකුට මෙවැනි අසාධාරණයක් සිදුනොවන පරිදි තරුණ රැකවරණ මධ්‍යස්ථානවල නීති රෙගුලාසි සහ අධීක්ෂණයන් දැඩි ලෙස යාවත්කාලීන කරන ලෙසත්ය.

0 Comments