← BACKEducation

“නවකයන් බඳවා ගැනීම සියයට 33කින් අඩු වෙලා..” විශ්වවිද්‍යාල උපාධි වෙනස් විය යුතු කාලය ඇවිත්!

BY Dhanush•PUBLISHED AUGUST 11, 2026•1 MIN READ•0 COMMENTS

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීම හමුවේ කිසිදු විශ්වවිද්‍යාල උපාධියක් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවන බවත්, එබැවින් උපාධි හදාරන මුල් අවධියේදීම එක් විශේෂිත ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී පෘථුල අධ්‍යාපනයක් ලැබීමෙන් අනාගත රැකියා වෙළඳපොළ තුළ විශාල සාර්ථකත්වයක් අත්කර ගත හැකි බවත් නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ (University of Auckland) අධ්‍යයන විශේෂඥයෝ පෙන්වා දෙති. ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පේට්‍රික් දොද් (Patrick Dodd) සහ හනෝකු බතුලා (Hanoku Bathula) යන පර්යේෂකයින් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, AI තාක්ෂණය මගින් නවක උපාධිධාරීන්ගේ ආරම්භක රැකියා ක්ෂේත්‍රයන් දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතී. නවසීලන්තයේ ව්‍යාපාරික නායකයින් අතර පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, එරට ව්‍යාපාරික ආයතනවලින් සියයට 87ක්ම AI භාවිතය නිසා රැකියා ස්වභාවයන් වෙනස් වීම හෝ අහෝසි වීම දැක ඇති අතර, තුන්ගුණයකට ආසන්න පිරිසක් අලුතින් උපාධිධාරීන් සේවයට බඳවා ගැනීම මන්දගාමී කර ඇති බවයි.

කේතකරණය (coding), වාර්තා සැකසීම සහ දත්ත විශ්ලේෂණය වැනි මූලික තාක්ෂණික කාර්යයන් AI මගින් ඉතා වේගයෙන් සිදුකිරීමට හැකි වී තිබීම නිසා, උපාධිය ආරම්භයේදීම පටු විශේඥතාවයකට (specialisation) යොමු නොවී ‘T-හැඩයේ’ (T-shaped) අධ්‍යාපන ආකෘතියක් වෙත යොමු වන ලෙස පර්යේෂකයෝ යෝජනා කරති. මෙමගින් සිසුන්ට AI සාක්ෂරතාව, එදිනෙදා ගැටලු විසඳීමේ හැකියාව, සන්නිවේදනය සහ තර්කානුකූල චින්තනය වැනි පෘථුල කුසලතා මුලින්ම ලබාදී, ඉන් පසුව යම් විශේෂිත ක්ෂේත්‍රයක් වෙත යොමු කිරීම සිදුකෙරේ. නීතිය, සෞඛ්‍යය, ව්‍යාපාර සහ පරිගණක විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රවල සිසුන් එක්ව කටයුතු කරන බහු-විෂයයික අධ්‍යයන ක්‍රමවේදයන් හරහා, අනාගතයේදී මතුවන සංකීර්ණ ගැටලුවලට විසඳුම් සෙවීමේ හැකියාව සිසුන්ට හිමිවේ.

තොරතුරු සහ පිළිතුරු සොයාගැනීම AI මගින් ඉතා පහසු වී ඇති යුගයක, උපාධියක සැබෑ වටිනාකම රැඳී පවතින්නේ හුදෙක් පිළිතුරු සැපයීම මත නොව, එම තොරතුරුවල නිවැරදිභාවය ප්‍රශ්න කිරීම, සාක්ෂි ඇගයීම සහ මානුෂීය බුද්ධියෙන් තීරණ ගැනීම මතය. එබැවින් විශ්වවිද්‍යාල විසින් සිසුන් ඇගයීමේදීද සරල පිළිතුරු වෙනුවට, තීරණ ගත් ආකාරය පැහැදිලි කිරීමටත්, තර්කානුකූලව අදහස් දැක්වීමටත් වැඩි ඉඩක් ලබාදිය යුතුය. අනාගත රැකියා නාමයන් පුරෝකථනය කරනවාට වඩා, වෙනස් වන තාක්ෂණයට අනුගත විය හැකි සහ ගැඹුරු දැනුමක් සහිත උපාධිධාරීන් බිහිකිරීම මගින් AI තාක්ෂණය හමුවේ නොසැලෙන අනාගතයක් ගොඩනගා ගත හැකි බව විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *