
ඔස්ට්‍රේලියාවේ ජාතික කොඩියට වසර 125ක් පිරීම නිමිත්තෙන් කැන්බරා හි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති නිල සැමරුම් උත්සවයකදී, ඔස්ට්‍රේලියානු ජාතික කොඩි වෙනුවට වැරදීමකින් නවසීලන්ත ජාතික කොඩි දෙකක් එසවීම නිසා බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
ජාතික කොඩි 44ක් එක පෙළට ඔසවමින් පැවැති මෙම උත්සවයේදී, නිරීක්ෂකයින් විසින් හඳුනාගන්නා ලද්දේ එසවූ කොඩි අතුරින් දෙකක්ම නවසීලන්තයේ ජාතික කොඩි බවයි. රටවල් දෙකෙහිම ජාතික කොඩිවල පවතින දැඩි සමානකම මෙම පැටලීමට ප්‍රධාන හේතුව වී ඇති අතර, සිද්ධිය වහා තේරුම් ගත් නිලධාරීන් පසුව එම කොඩි දෙක ඉවත් කර ඔස්ට්‍රේලියානු ජාතික කොඩි එසවීමට කටයුතු කළහ.
නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු ජාතික කොඩි දෙකෙහිම තද නිල් පැහැති පසුබිම, බ්‍රිතාන්‍ය යූනියන් ජැක් (Union Jack) සලකුණ සහ දක්ෂිණ කුරුස (Southern Cross) තාරකා මණ්ඩලය පැවතියද, ඒවායේ තාරකා සංඛ්‍යාව සහ වර්ණ වෙනස් වේ. නවසීලන්ත කොඩියේ සුදු පැහැති සීමා සහිත රතු පැහැති තරු හතරක් පවතින අතර, ඔස්ට්‍රේලියානු කොඩියේ සුදු පැහැති තරු හයක් ඇතුළත් වේ. මෙම සමානකම නිසා මීට පෙරද අවස්ථා ගණනාවකදී දේශපාලනික වශයෙන් මතභේද හටගෙන ඇති අතර, 2018 වසරේදී එවකට නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් (Winston Peters) චෝදනා කළේ ඔස්ට්‍රේලියාව විසින් නවසීලන්ත ජාතික කොඩියේ හැඩරුව කොපි කර ඇති බැවින් ඔවුන්ගේ කොඩිය වෙනස් කළ යුතු බවයි.
නිල නිවේදන මඟින් ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම කොඩි පැටලීම පිළිබඳව අදහස් දක්වා නොමැති වුවද, දෙරට අතර පවතින හිතකාමී සහෝදරත්වය සහ ඓතිහාසික සබඳතාව සිහිපත් කරන තවත් එක් රසවත් සිදුවීමක් ලෙස මෙය ජාත්‍යන්තර මාධ්‍ය අතර අවධානයට ලක්ව තිබේ.

0 Comments