
වෙලින්ටන් වෙරළ තීරයට පැමිණි දුර්ලභ ගණයේ සීල් මත්ස්‍යයෙකුට (Leopard seal) අමානුෂික ලෙස හිරිහැර කරමින්, මුහුණට මියගිය මාළුවෙකුගෙන් පහරදීමේ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සහ පරිසරවේදීන්ගේ දැඩි කෝපය පළවී තිබේ. ලෝවර් හට් (Lower Hutt) හි පෙටෝන් (Petone) වෙරළ තීරයේ විවේක ගනිමින් සිටි මීටර් තුනක් පමණ දිගැති මෙම ඇන්ටාක්ටික් සීල් මත්ස්‍යයා නැරඹීමට පැමිණි පිරිස අතර සිටි ඇතැම් පුද්ගලයින් අඳුරු කාලයේදී උගේ ඇස්වලට විදුලි පන්දම් එළිය ඇල්ලීමටත්, සුනඛයන් ලවා ප්‍රහාර එල්ල කිරීමට තැත් කිරීමටත් කටයුතු කර ඇත.
වනජීවී නීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ක්‍රියාවට සම්බන්ධ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් නවසීලන්ත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Conservation – DOC) මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සාගර ක්ෂීරපායින්ට හිරිහැර කිරීම හෝ ආහාර දැමීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත්, සුනඛයන් ලවා පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අධික දඩ සහ සුනඛයන් විනාශ කිරීමේ නියෝග පවා නිකුත් කළ හැකි බවත් රේන්ජර්වරියක වන බ්‍රියානා හින්ඩ්මාර්ෂ් (Breanna Hindmarsh) සඳහන් කළාය. සාගරයේ දුරබැහැර සිට පැමිණෙන මෙවැනි සතුන් විවේක ගන්නා අවස්ථාවලදී අවම වශයෙන් මීටර් 20 ක දුරක් තබා ගන්නා ලෙසත්, උන්ට මුහුදට යාමට ඇති මාර්ග අවහිර නොකරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අදාළ සීල් මත්ස්‍යයා සඳුදා උදෑසන ආරක්ෂිතව නැවත මුහුදට ගොස් තිබේ.

0 Comments