
නවසීලන්තයේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ඩොලර් මිලියන ගණනක කළු සල්ලි, මෙරට ගොඩනැගිලි සහ ඉදි කිරීම් ක්ෂේත්රය (construction sector) හරහා සුදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට නවසීලන්ත පොලිසිය මෙරට රජයට තදින්ම අනතුරු අඟවා තිබේ. ‘කොමාන්චෙරෝස්’ (Comancheros) වැනි ප්‍රබල අපරාධ කල්ලි, මෙතෆෙටමීන් සහ කොකේන් ජාවාරම්වලින් උපයන නීති විරෝධී මුදල්, ගොඩනැගිලි ඉදි කිරීමේ අනුකොන්ත්රාත් සමාගම් (subcontracting firms) සහ සේවක වේතන හරහා නීත්‍යානුකූල මුදල් බවට පත් කිරීමට කටයුතු කරන බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙම ජාවාරම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට සහ විදේශීය සංක්‍රමණික සේවකයින්ට අතින් මුදල් ගෙවීමේ (cash-in-hand) ක්‍රමවේදය උපක්රමශීලීව යොදාගන්නා අතර, එමගින් බදු ගෙවීම් මෙන්ම මුදල් විශුද්ධිකරණ විරෝධී (anti-money laundering) නීතිරීතිද මගහැරීමට අපරාධකරුවන්ට හැකියාව ලැබී තිබේ.
නවසීලන්ත පොලිසිය, ව්‍යාපාරික හා නවෝත්පාදන අමාත්‍යාංශය (MBIE) සහ ආගමන විගමන බලධාරීන් එකතුව පවත්වන ලද මෙහෙයුම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර, විශාල මුදල් ප්‍රමාණයක්, සුඛෝපභෝගී රථවාහන සහ දේපළ රාජසන්තක කර ඇත. ඉදි කිරීම් ක්ෂේත්රයේ පවතින නීතිමය සිදුරු අවහිර කරමින් නීතිරීති තද කරන ලෙස පොලිසිය රජයෙන් ඉල්ලා සිටින්නේ මෙමගින් සංක්‍රමණික සේවකයින් සූරාකෑමට ලක්වීමද වළක්වා ගැනීමටය.

0 Comments