
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළු වැදගත් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අනුකම්පා විරහිත ලෙස දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ල කළ “INC Ransom” නමැති ජාත්‍යන්තර පරිගණක අපරාධකාරී කල්ලිය කොටු කරගැනීම සඳහා නවසීලන්ත ඩොලර් 40,000 ක දැවැන්ත මුදල් ත්‍යාගයක් (bounty) ප්‍රකාශයට පත්කර තිබේ. ක්‍රයිම් ස්ටොපර්ස් ඉන්ටර්නැෂනල් (Crime Stoppers International) ආයතනය සහ ෆෝටිනෙට් (Fortinet) සයිබර් ආරක්ෂණ සමාගම එක්ව Operation Silent Vector I නමින් ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම මගින්, අදාළ සයිබර් අපරාධකරුවන් හඳුනා ගැනීමට හෝ ඔවුන්ගේ තාක්ෂණික ජාල අඩපණ කිරීමට උපකාරී වන නිවැරදි තොරතුරු සපයන ඕනෑම අයෙකුට මෙම ත්‍යාගය ලබාදීමට නියමිතය.
පසුගිය වසරේ නවසීලන්තයේ වෙලින්ටන් ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇතුළු සෞඛ්‍ය සේවාවලට එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් රෝගීන්ගේ පෞද්ගලික දත්ත රැසක් සොරාගැනීමට ලක්වූ අතර, දෛනික ප්‍රතිකාර කටයුතුවලටද දැඩි බාධා එල්ල විය. 2023 වසරේ සිට ලොව පුරා ක්‍රියාත්මක වන මෙම රුසියානු භාෂා සයිබර් කල්ලිය, ආයතනවල දත්ත සංකේතනය (encrypt) කරමින් සහ ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් අතිවිශාල කප්පම් මුදල් අයකර ගැනීමේ නිරත වන බව අනාවරණය වී ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම රාජ්‍ය බුද්ධි අංශවලට පමණක් සීමා වී තිබුණද, මෙම නව වැඩසටහන හරහා ලොව පුරා සිටින ඕනෑම අයෙකුට රහස්‍යභාවය සුරකිමින් තොරතුරු ලබාදීමට අවස්ථාව සැලසේ. සයිබර් අපරාධකරුවන්ගේ සැබෑ තොරතුරු, ඔවුන්ගේ රහසිගත සර්වර්, ගනුදෙනු සඳහා භාවිතා කරන ක්‍රිප්ටෝ මුදල් පසුම්බි (cryptocurrency wallets) හෝ ඔවුන්ගේ සගයන් පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදීමෙන් ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට සහාය වන පර්යේෂකයන්ට මෙන්ම අභ්‍යන්තර තොරතුරු දන්නා පුද්ගලයන්ටද මෙමගින් මූල්‍යමය ප්රතිලාභ හිමිවේ.
අහිංසක රෝගීන්ගේ ජීවිත පවා අනතුරේ හෙළමින් යටිතල පහසුකම්වලට පහර දෙන සයිබර් ජාවාරම්කරුවන්ට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් දියත් කෙරුණු මෙම අලුත්ම තොරතුරු හුවමාරු මෙහෙයුම, ඉදිරියේදී ගෝලීය සයිබර් අපරාධ මර්දනයේ තීරණාත්මක සංග්‍රාමික සන්ධිස්ථානයක් වනු ඇත.

0 Comments