
නවසීලන්තයේ Greymouth ප්‍රදේශයේ පැවති ‘AgFest West Coast’ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනයකදී පෙරේදා සිදු වූ බිහිසුණු අනතුරකින් යොවුන් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ප්‍රදර්ශනය අවසන් වීමට මිනිත්තු 30ක් පමණක් ඉතිරිව තිබියදී මෙහි ඇති කතුරු ඔන්චිල්ලාවේ මීටර් කිහිපයක උසකින් බිමට වැටී ඇති මෙම තරුණියන් දෙදෙනා, බිම සිටි තවත් දැරියකගේද ඇඟ මතට පතිත වී ඇත.
ප්‍රදර්ශන අධ්යක්ෂ ඇන්ඩි තොම්සන් (Andy Thompson) සඳහන් කළේ වැටීම මීටර් දෙක තුනකට වඩා වැඩි උසකින් සිදුව ඇති බව පෙනී යන බවත්, අනතුරින් බිම වැටුණු දැරියට සහ තුවාල ලැබූ තරුණියන්ට බරපතල අනතුරු සිදු නොවී බේරීම මහත් භාග්‍යයක් බවත්ය.
අනතුර සිදු වූ වහාම මෙහෙයුම්කරුවන් විසින් විනෝද චක්‍රය ක්‍රියා විරහිත කර සෙසු පිරිස ආරක්ෂිතව ඉවත් කර ඇති අතර, පොලිසිය සහ වෛද්‍ය කණ්ඩායම් එක්ව වහාම ක්‍රියාත්මක වී එම ප්‍රදේශය ආරක්ෂිතව ආවරණය කර තිබේ. දහසකට අධික ජනකායක් සහභාගී වූ මෙම සාර්ථක ප්‍රදර්ශනයේ අවසන් මිනිත්තු කිහිපය තුළ මෙම අනතුර සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව සංවිධායකයෝ පවසති. මේ අතර, මෙම අනතුර සම්බන්ධයෙන් සේවා ආරක්ෂණ නියාමන ආයතනය (WorkSafe) වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ස්වාධීන විශේෂඥයෙකු විසින් මෙහි ආරක්ෂාව තක්සේරු කර වාර්තාවක් ලබා දෙන තෙක් එම විනෝද චක්‍රය තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

0 Comments