
2026 මාර්තු 19 වනදා, ලෝකය පුරා ක්‍රියාදාම චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ජනප්‍රිය නළු හා සටන් කලා ශූරයා වන Chuck Norris පිළිබඳ සංවේදී පුවතක් වාර්තා විය. සාමාන්‍ය පවුලක උපන් කුඩා පිරිමි ළමයෙක් ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු, පසුව ලෝකයම හඳුනන Action Icon එකක් බවට පත්වූයේ ඔහුගේ අසමසම කැපවීම, අධිෂ්ඨානය සහ ශක්තිමත් චරිතය නිසාය.
1940 මාර්තු 10 වනදා ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ උපන් නෝරිස්ගේ ළමා කාලය සුන්දර එකක් නොවීය. පවුලේ ආර්ථික ගැටලු සහ පියාගේ පුරුදු නිසා ඔහුට කුඩා වියේම අභියෝගවලට මුහුණ දීමට සිදු විය. ශරීරයෙන් දුර්වල, ලැජ්ජාශීලී දරුවෙක් ලෙස හැඳින්වූ ඔහුගේ ජීවිතය වෙනස් වන්නේ ගුවන් හමුදාවට එක්ව දකුණු කොරියාවට ගිය පසුය. එහිදී ඔහු Tang Soo Do නම් සටන් කලාවට හඳුනාගෙන, එය ජීවිතයම වෙනස් කරන අත්දැකීමක් බවට පත් කරගත්තේය.
ඇමරිකාවට නැවත පැමිණි පසු ඔහු සටන් කලාවට සම්පූර්ණයෙන්ම කැපවී, 1960 දශකයේ අග භාගය වනවිට ලෝක කරාටේ ශූරයා ලෙස නමක් දිනාගත්තේය. එහිදී වසර ගණනාවක් එක දිගටම පරාජය නොවී ශූරතාව රැකගැනීම ඔහුගේ අධිෂ්ඨානය කොතරම්ද කියා පෙන්වූ විශේෂ සිදුවීමකි.
ඔහුගේ ජීවිතයේ විශාල turning point එකක් වූයේ සටන් කලා ලෝකයේ නම්දැරූ වීරයා වූ Bruce Lee සමඟ ඇති වූ මිත්‍රත්වයයි. 1972 දී නිර්මාණය වූ The Way of the Dragon චිත්‍රපටයේ ඔවුන් අතර සිදු වූ සටන් දර්ශනය අදටත් Martial Arts චිත්‍රපට ඉතිහාසයේ අමතක නොවන දර්ශනයක් ලෙස සැලකේ. එම චිත්‍රපටයෙන් පසු චක් නෝරිස් හොලිවුඩ් ක්‍රියාදාම සිනමාවේ නොමැකෙන නමක් බවට පත්විය.
1980 දශකය ඔහුගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය කාලය ලෙස සැලකේ. Missing in Action, The Delta Force වැනි චිත්‍රපට වලින් ඔහු පෙන්වූ වීර චරිතයන් ලෝකය පුරා ජනප්‍රිය විය. පසුව Walker, Texas Ranger ටෙලිනාට්‍ය මාලාව ඔහුගේ ජනප්‍රියතාව තවත් ඉහළට ගෙන ගියේය. ඔහුගේ Roundhouse Kick සටන් කලාවේ සලකුණක් ලෙස පවා සැලකුණි.
අන්තර්ජාල යුගය ආරම්භ වූ පසු “Chuck Norris Facts” ලෙස ජනප්‍රිය වූ විහිළු හා කතා ඔහුගේ නම තරුණ පරපුර අතරත් අමරණීය විය. නමුත් රිදී තිරයෙන් පිටත ඔහු ඉතා නිහතමානී, ආගමට ලැදි , පවුලට ආදරය කරන පුද්ගලයෙකු ලෙස හඳුන්වනු ලැබීය. තම බිරිඳගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු සිනමා ජීවිතය පවා අතහැර, පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කළ බව සඳහන් වේ.
එමෙන්ම දරුවන් සඳහා ක්‍රීඩා හා සටන් කලාව උගන්වන වැඩසටහන් හරහා ඔහු දහස් ගණනක් තරුණයන්ගේ ජීවිත යහපත් මාවතකට යොමු කළේය. ඒ නිසාම ඔහු තිරයේ පමණක් නොව, සැබෑ ජීවිතයේද වීරයෙක් ලෙස සැලකේ.
ඔහුගේ අවසන් දිනවලදී පවා ශක්තිමත් ලෙස විනෝදයෙන් ජීවත් වූ ඔහු, පවුලේ අය ළග සිටින මොහොතක ඉතා සාමකාමීව මෙලොව හැර ගිය බව පවුලේ සමීපතමයන් පවසයි.
🕊️ ලෝකයම ආදරය කළ ඒ සටන්කාමී හදවත අද නැති වුණත්, චක් නෝරිස් කියන නම සදා අමරණීයයි.
Rest in Peace, Legend. 🥋💔

0 Comments