← BACKEntertainment

ගීතයක හිමිකම පිළිබදව පසුගියදා ඇතිවූ සමාජ සංකථනය අලුත් කරමින් ලැබුන නඩු තීන්දුව කාගේත් ඇස් අරවන්නකී.

BY DhanushPUBLISHED APRIL 2, 20261 MIN READ0 COMMENTS

2009 දෙසැම්බර් මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ‘සඳකඩ පහණ අභියස’ නමින් ප්‍රසංගයක් පැවැත්විණි. එහිදී ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා විසින් ගීත 22ක් ගායනා කරන ලද අතර, ඊට ලූෂන් බුලත්සිංහල මහතා රචනා කළ ‘පිණිබර යාමේ සැවුලන් අඬලනවා’ ගීතයද ඇතුළත් විය.මෙම ප්‍රසංගය ශ්‍රව්‍ය-දෘශ්‍ය (audio-visual) ලෙස පටිගත කර, පසුව ටොරානා ආයතනය විසින් 2011 නොවැම්බර් මාසයේදී එය DVD පටයක් ලෙස වෙළඳපොළට නිකුත් කරන ලදී.

🤷‍♂️මෙම වාණිජමය ප්‍රතිනිෂ්පාදනය (Reproduction) සහ බෙදාහැරීම (Distribution) සඳහා ගීතයේ පද රචකයා වන තමාගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව පවසමින්, ලූෂන් බුලත්සිංහල මහතා 2012 මැයි 04 වන දින කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කළේය. වාණිජ මහාධිකරණය විසින් ලූෂන් බුලත්සිංහල මහතාට රුපියල් දශලක්ෂයක (රු. මිලියනයක) වන්දියක් ගෙවන ලෙස ටොරානා ආයතනයට නියෝග කළ අතර, ටොරානා ආයතනය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

💰ටොරානා ආයතනයට අනුව එහි අදාල මුදල් ඔවුන් ගෙවා තිබේ. එසේනම් ඒ මුදල් ලබාගෙන ඇත්තේ කවුරුත්ද. දර්ශන රුවන් දිසානායක, සහ රජී වසන්ත වෙල්ගම ” මේ තරම් සියුමැලිද කළුගල්” ගීතය වෙනුවෙන් ටොරානා ආයතනයට මෙවැනිම නඩුවක් ගොනු කලේය. එහිදී සුනිල් එදිරිසිංහ මහතා සහ ඔවුන් අතර කලක් අමනාපයක්ද පැවතුන අතර ඔහු එම ගීතය ගැයීමෙන්ද කලක් වැලකී සිටියේය. එයට සිදුවූයේ කුමක්දැයි පසුව වාර්තා නොවීය. සමථයකට පැමිනුන හෝ තීන්දුව නොලැබුන, එයත් මෙහිම කොටසක් විය හැකි බවට අනුමාන කළ හැකිය.

⬇️ලූෂන් බුලත්සිංහලගේ ‘පිණිබර යාමේ’ නඩුව ගැන නීතිඥ අමිත් ලියනගේ තැබූ සටහන ඔබේ අවධානය පිණිස උපුටා ගනිමු.

මෙම නඩුව ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ බුද්ධිමය දේපළ නීතිය, විශේෂයෙන්ම කර්තෘභාග (Royalties) සහ නිර්මාණකරුවන්ගේ ආර්ථික අයිතිවාසිකම් (Economic Rights) පිළිබඳව ඉතා වැදගත් පූර්වාදර්ශයක් සපයන තීන්දුවකි.

👨‍⚖️නඩුවේ පසුබිම සහ කරුණු නීතිමය පදනම

මෙම නඩුව සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act No. 36 of 2003) මතයි.

✍️ගීතයක පද රචනය යනු පනත යටතේ ආරක්ෂා වන “සාහිත්‍යමය නිර්මාණයක්” (Literary work) වේ.

👍එම නිර්මාණයේ කර්තෘවරයා ලෙස ලූෂන් බුලත්සිංහල මහතාට එම නිර්මාණය සම්බන්ධයෙන් පරම ආර්ථික අයිතිවාසිකම් (Economic Rights) හිමි වේ.

💿ගීතය වෙනත් මාධ්‍යයකට (DVD වැනි) ප්‍රතිනිෂ්පාදනය කිරීමේදී එනම් යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන අයිතිය (Mechanical Rights) භාවිත කිරීමේදී සහ වාණිජ අරමුණු සඳහා බෙදා හැරීමේදී නිර්මාණකරුගේ පැහැදිලි කැමැත්ත සහ බලපත්‍රයක් (License) ලබා ගැනීම අනිවාර්ය වේ.

👩‍⚖️ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

විනිසුරු දිලීප් නවාස් (ප්‍රධාන තීන්දුව), විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම අභියාචනය නිශ්ප්‍රභ කරමින් පහත කරුණු තහවුරු කරන ලදී:

✅කර්තෘත්වය ඔප්පු වීම (Authorship)

අදාළ ගීතයේ පද රචකයා ලූෂන් බුලත්සිංහල මහතා බව සාක්ෂි මගින් මනාව තහවුරු වී ඇති බව විනිසුරු දිලීප් නවාස් මහතා සිය තීන්දුවෙන් අවධාරණය කළේය.

❌අවසර ලබා නොගැනීම

මෙම ගීතය වාණිජමය වශයෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට හෝ බෙදා හැරීමට ලූෂන් බුලත්සිංහල මහතා විසින් ටොරානා ආයතනයට හෝ ගායක සුනිල් එදිරිසිංහ මහතාට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව අධිකරණය නිගමනය කළේය.

💰වන්දිය තහවුරු කිරීම

ඒ අනුව, ටොරානා ආයතනය විසින් කර්තෘවරයාගේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කරමින්, කොළඹ වාණිජ මහාධිකරණය නියම කළ රුපියල් මිලියනයක වන්දි මුදල ගෙවීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තහවුරු කරන ලදී.

👨‍⚖️අධිකරණ පූර්වාදර්ශය

ශ්‍රී ලංකාවේ සංගීත කර්මාන්තය තුළ නිර්මාණකරුවන්ගේ අයිතීන් කළමනාකරණය කිරීමේදී (Collective Management) මෙන්ම, නිෂ්පාදකයින් සහ කලාකරුවන් අතර ඇතිකරගන්නා ගිවිසුම්වලදී බුද්ධිමය දේපළ පනතේ ප්‍රතිපාදන කෙතරම් දැඩිව ක්‍රියාත්මක වන්නේද යන්න මෙම තීන්දුවෙන් මනාව පැහැදිලි වේ. කර්තෘවරයාගෙන් නිසි බලපත්‍රයක් ලබා නොගෙන නිර්මාණ වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙයින් තවදුරටත් තහවුරු කර ඇත.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *