← BACKCrime

Hastings මව සහ සිඟිති දියණියන් දෙදෙනාගේ ඝාතකයා මානසික රෝගියෙක්ද?

BY DhanushPUBLISHED APRIL 22, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ හේස්ටිංග්ස් (Hastings) නුවර පසුගිය ඉරිදා සිදුවූ අතිශය ශෝකජනක පුවතක් මුළු රටම කම්පාවට පත් කළේය. නිවසක් තුළ සිදුවූ මෙම සිදුවීමෙන් මවක් සහ ඇයගේ ඉතා කුඩා දියණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකුට මේ වන විට මිනීමැරුම් චෝදනා තුනක් එල්ල වී තිබේ.

🔴සිදුවීම කෙටියෙන්…

පසුගිය ඉරිදා අලුයම 6ට පමණ හේස්ටිංග්ස් හි පිහිටි නිවසකින් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ හදිසි සේවා කණ්ඩායම් විසින් බරපතල තුවාල ලබා සිටි සිව්දෙනෙකු සොයා ගන්නා ලදී. එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර, මව සහ අනෙක් දියණිය රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව වාර්තා වේ. මියගිය දියණියන් දෙදෙනා මාස 3ක් සහ මාස 17ක් තරම් ඉතා කුඩා වයස්වල පසුවන්නන් බව පොලිස් වාර්තා තහවුරු කරයි.

🔴අපරාධය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කරඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයා වන්නේ නිවසේ සිටි සිව්දෙනාගෙන් දැනට ජීවත්ව සිටින පුද්ගලයාය. ඔහුද මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව සිටින අතර, ඔහු රෝහල් ඇඳේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ (AVL) අධිකරණය හමුවට පමුණුවන ලදී. එහිදී විනිසුරුවරයා නියෝග කළේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් කැඳවන ලෙසයි. ලබන මැයි මස 8 වනදා ඔහු නැවතත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මියගිය අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත්, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා තමන්ට ආදරණීයයන් තිදෙනෙකු අහිමි වූ බවත්ය.

මියගිය අයගේ සහ සැකකරුගේ නම් ප්‍රසිද්ධ කිරීම අධිකරණය විසින් තාවකාලිකව තහනම් කර ඇත. “Operation Train” ලෙස නම් කර ඇති මෙම විශේෂ මෙහෙයුම සඳහා නිලධාරීන් 30කට අධික පිරිසක් සහභාගී වී පරීක්ෂණ පවත්වති. මේ අතර ළමා සුරැකුම් අමාත්‍යාංශය (Oranga Tamariki) පවසන්නේ මීට පෙර මෙම පවුල සමඟ කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් ඔවුන් මැදිහත්වී වී නොමැති බවයි.

සාමකාමී නගරයක් වූ හේස්ටිංග්ස් හි සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම මුළු මහත් නවසීලන්තයම කම්පා කළ ඛේදනීය සිදුවීමකි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *