
Cambridge සහ Piarere අතර පිහිටි 1 වන රාජ්‍ය මහාමාර්ගය (SH1) යනු වසර ගණනාවක සිට අධික රථවාහන තදබදයකට මෙන්ම දරුණු රිය අනතුරුවලට ප්‍රසිද්ධියක් ඉසුලූ මාර්ගයකි. එහෙත්, වත්මන් සභාග රජයේ 2026 අයවැය මඟින් මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දී තිබේ.
රජය විසින් නවසීලන්ත ඩොලර් බිලියන 1.773 ක දැවැන්ත ප්‍රතිපාදනයක් වයිකාටෝ අධිවේගී මාර්ගය (Waikato Expressway) තවදුරටත් දීර්ඝ කිරීම වෙනුවෙන් වෙන් කර ඇත. මෙම කිලෝමීටර් 16 ක ව්‍යාපෘතිය “ජාතික වැදගත්කමකින් යුතු මාර්ගයක්” (Road of National Significance) ලෙස නම් කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය ක්‍රිස් බිෂොප් මහතා පෙන්වා දෙන්නේ ඕක්ලන්ඩ්, වයිකාටෝ සහ ටවුරන්ගා යන නගර යා කෙරෙන “රන් ත්‍රිකෝණය” (Golden Triangle) තුළ නවසීලන්තයේ ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන අතර රටේ දළ දේශීය නිෂ්පාදන (GDP) ප්‍රමාණයෙන් 60% ක්ම උත්පාදනය වන්නේ මෙම කලාපයෙන් බවයි. එම නිසා මෙම මාර්ගය සංවර්ධනය කිරීම රටේ ආර්ථිකයට ලැබෙන මහා ශක්තියකි.
මෙම ව්‍යාපෘතියේ වැදගත්ම පැතිකඩ වන්නේ මාර්ග ආරක්ෂාවයි. මීට පෙර මෙහි නිතරම සිදුවූ මුහුණට මුහුණ ලා සිදුවන දරුණු රිය අනතුරු, මෙම මංතීරු හතරේ නව මාර්ග සැකැස්ම හරහා 70% කින් පමණ අඩු කරගත හැකි වනු ඇතැයි ගණනය කර ඇත.
මේ වන විටත් මූලික සැලසුම් සහ භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර, වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ගයේ පීඩා විඳි දහස් සංඛ්‍යාත රියදුරන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මෙය ඉතාමත් සතුටුදායක පුවතක් වී තිබේ.

0 Comments