
නවසීලන්තයේ වෙසෙන ගුරුවරියක වන සාරා (Sarah – සැබෑ නම නොවේ) පසුගිය වසරේ මුල් භාගයේදී ඇගේ සැමියාගෙන් වෙන්වීමට තීරණය කළාය. නමුත් වෙන්වීමෙන් පසුව ඇගේ ජීවිතය වෙනස්ම ආකාරයක බියකරු සිහිනයක් බවට පත් විය. ඇගේ හිටපු සැමියා ඇයට දිගින් දිගටම කෙටි පණිවිඩ (Texts) සහ ඊමේල් එවීමට පටන් ගත්තේය. මුලදී එය සාමාන්‍ය දෙයක් ලෙස සිතා ඇය ඉවසා සිටියද, පසුව ඔහු ඇය ජීවත්වන නිවස අසල රැඳී සිටිමින් ඇයව රහසින් නිරීක්ෂණය කරන (Stalking) බව ඇයට වැටහිණි.
“හැම තැනකදීම මම හිටියේ දැඩි බියකින්. මම යන එන හැම තැනකදීම ඔහුගේ වාහනය තිබෙනවාද කියා සෝදිසි කරන්න මට සිද්ධ වුණා. මට නින්ද අහිමි වුණා,” සාරා පැවසීය.
තම ජීවිතයට ඇති අවදානම වටහාගත් ඇය නීතිඥයෙකුගේ උපදෙස් මත පවුල් අධිකරණයෙන් ස්ථිර ආරක්ෂක නියෝගයක් (Permanent Protection Order) ඉල්ලා සිටියාය. වසරකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ පැවැති දැඩි නීතිමය සටනකින් පසු, ඇයට එම ආරක්ෂක නියෝගය ලබා ගැනීමට හැකි විය. එමඟින් ඇයට සහනයක් ලැබුණද, ඒ සමඟම ඇය වෙත පැමිණි නීති ගාස්තු බිල්පත ඇයව මවිතයට පත් කළේය. එය නවසීලන්ත ඩොලර් 20,000කට වඩා වැඩි මුදලකි!
ඇය වෘත්තියෙන් ගුරුවරියක වූ බැවින් රජයේ නොමිලේ ලැබෙන නීති ආධාර (Legal Aid) සඳහා ඇය සුදුසුකම් නොලැබූ නමුත්, ඇගේ හිටපු සැමියා ඒ සඳහා සුදුසුකම් ලබා තිබුණි. අවසානයේදී තමන්ගේම ආරක්ෂාව වෙනුවෙන් මෙම දැවැන්ත මුදල ගෙවීමට සාරාට සිදු වූයේ 9.9% ත් 12.9% ත් අතර ඉහළ පොලී අනුපාත යටතේ පවුල් නීති මූල්‍ය සමාගමකින් ණයක් ලබා ගනිමිනි.
“ඔහු මට හිරිහැර කළා, ඒත් ඒකෙන් බේරෙන්න සල්ලි ගෙවන්න වුණේ මට. මට වුවමනා වුණේ වෙන් වෙලා පාඩුවේ ඉන්න විතරයි,” ඇය දැඩි කලකිරීමෙන් පැවසුවාය.
නවසීලන්තයේ අධිකරණ අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2024 වසරේදී පමණක් ආරක්ෂක නියෝග සඳහා අයදුම්පත් 5,895ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් 1,500කට වඩා වැඩි ප්‍රමාණයක් තීන්දු ලබා දීමට පෙර ඉල්ලා අස්කර ගෙන ඇත. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙලෙස නඩු කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම බව නීතිඥවරු පවසති.
මේ වන විට නවසීලන්තය තුළ පුද්ගලයන් පසුපස හඹා යමින් හිරිහැර කිරීම (Stalking) වසර 5ක සිරදඬුවම් ලැබිය හැකි බරපතළ අපරාධයක් ලෙස නම් කරමින් නව නීති පනවා ඇති පසුබිමක, මෙවැනි ආරක්ෂක නියෝග ලබා ගැනීමේදී වින්දිතයන්ට සිදුවන මූල්‍යමය බාධාවන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති.

0 Comments