
නවසීලන්තයේ Waikato ප්‍රදේශයේ Huntly නගරයේ පදිංචි පුද්ගලයෙකු, එකම ලොතරැයි දිනුම් ඇදීමකදී පළමු ත්‍යාගය (First Division) හතර වතාවක්ම දිනාගනිමින් ඩොලර් මිලියනයක ($1,000,000) හිමිකරුවෙකු බවට පත්ව තිබේ.
ඔහු මෙම විශ්මිත ජයග්‍රහණය ලබා ඇත්තේ තම ලොතරැයි පතෙහි පේළි හතරක් සඳහාම එකම වාසනාවන්ත අංක භාවිතා කිරීමෙනි.
මුලදී ඔහු සිතුවේ රට වටෙන්ම ජයග්‍රාහකයින් සිව්දෙනෙකු මෙම ත්‍යාගය බෙදාගෙන ඇති බවයි. නමුත් පසුව මාධ්‍ය වාර්තා මඟින් එක් අයෙකු එකම අංක යොදා ටිකට්පත් 4ක් මිලදී ගෙන ඇති බව කියවීමෙන් පසු, ඔහුට තමා ගැන සැක සිතුණි.
“මම පත්තරේක දැක්කා ලොතරැයි මණ්ඩලයෙන් කියලා තිබුණා එකම ටිකට් එකක පේළි හතරක් දිනපු එක්කෙනෙක් ඉන්නවා කියලා. අන්න එතකොටයි මට තේරුණේ ඒ මමමයි කියලා” ඔහු සිනාසෙමින් පැවසීය.
පසුව ඔහු තම ප්‍රදේශයේ ලොතරැයි කුටිය වෙත ගොස් ටිකට් පත පරීක්ෂා කර තිබේ. එහිදී කවුන්ටරයේ සිටි සේවකයා ටිකට් පත දෙස බලා, “ඔබට මුළු මුදලම ලැබී තිබෙනවා!” යනුවෙන් පවසද්දී තමා පුදුමයට පත් වුවද එය පිටතට නොපෙන්වා සාමාන්‍ය පරිදි සිටීමට උත්සාහ කළ බව ජයග්‍රාහකයා පැවසීය.
ඔහු නිවසට පැමිණ ලේඛන පෙන්වූ විට ඔහුගේ බිරිද මුලින් සිතා ඇත්තේ ඔහුට ලැබී ඇත්තේ ඩොලර් 1,000ක් කියාය. එහි අගට තිබූ බිංදු ප්‍රමාණය හරියට නොකියවූ ඇය පසුව හරි මුදල දැක තුෂ්නිම්භූත වී ඇත.
තමන්ට ලැබුණු මෙම අනපේක්ෂිත ත්‍යාග මුදලින් මුලින්ම තමන්ගේ දරුවන්ට උදව් කිරීමටත්, ඉතිරි මුදල තමන් වෙනුවෙන් ඉතිරි කර ගැනීමටත් බලාපොරොත්තු වන බව මෙම වාසනාවන්ත මිලියනපතියා පවසා සිටියේය.

0 Comments