← BACKCrime

වින්දිතයන් වෙනුවෙන් නවසීලන්ත පොලිසිය හැඩගස්වන්නට ආ “සුපිරි කාන්තා බලකාය” මෙන්න!

BY Dhanush•PUBLISHED JULY 14, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්ත පොලිස් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මීට පෙර අසාර්ථක ලෙස විමර්ශනය කර වසා දමා තිබූ වැඩිහිටි ලිංගික අතවර සහ ළමා අපචාර සිද්ධීන් 54ක් නැවත විමර්ශනය කිරීම ආරම්භ කර තිබේ. Operation Hark ලෙස නම් කර ඇති මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ පොලිසියේ වැරදි සෙවීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් රටේ ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ කාන්තා ක්‍රියාකාරිනියන් පස් දෙනෙකුගෙන් යුත් ස්වාධීන උපදේශක මණ්ඩලයක සෘජු අධීක්ෂණය යටතේය.
පොලිස් පරීක්ෂක කෙවන් වෙරි (Kevan Verry) විසින් මෙහෙයවන ලද ලිපිගොනු 1,000ක් පමණ කඩිනම් සමාලෝචනයකට ලක් කිරීමෙන් අනතුරුව මෙම බරපතළ වැරදි සහගත විමර්ශන 54 හඳුනාගෙන ඇති අතර, දැනට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

🔴 පොලිසිය පරීක්ෂා කිරීමට පැමිණි ප්‍රවීණ සාමාජිකාවන් 5 දෙනා කවුද?
මෙම ස්වාධීන මණ්ඩලය සමන්විත වන්නේ දශක ගණනාවක අත්දැකීම් ඇති, මීට පෙර පොලිස් පද්ධතිය දැඩි ලෙස විවේචනය කළ ප්‍රබල කාන්තාවන්ගෙනි:

  1. රූත් මනි (Ruth Money): රජයේ ප්‍රධාන වින්දිත උපදේශකවරියයි. ඇය පවසන්නේ මෙම මණ්ඩලය හුදෙක් ලිපිගොනු බැලීමට පමණක් සීමා නොවී, පොලිස් පද්ධතියේ ඇති අඩුපාඩු සෙවීමට “පොලිසිය ඇතුළටම බැස ක්‍රියා කරන” (Policing the Police) බවයි.
  2. ලුයිස් නිකලස් (Louise Nicholas): පොලිස් ඉතිහාසය තුළ සුවිශේෂී චරිතයකි. මීට පෙර සේවයේ නියුතු පොලිස් නිලධාරීන් තමාට කළ ලිංගික අතවරයන්ට එරෙහිව ඇය කලකට පෙර කළ ඓතිහාසික සටන නිසා සමස්ත පොලිස් පද්ධතියම වෙනස් කිරීමට සිදුවිය. වින්දිතයන්ගේ හඬක් ලෙස ඇය මෙයට එක්ව ඇත.
  3. විලෝ ඩෆි (Willow Duffy): ළමා ආරක්ෂණය පිළිබඳ වසර 30ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ හෙදියක් සහ වින්දිත සේවා අධ්‍යක්ෂවරියකි. නැවත විමර්ශනය කෙරෙන නඩු 54න් 40ක්ම ළමා අපචාර බැවින්, ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය පොලිසිය තුළ දැඩි ලෙස පෙනී සිටියි.
  4. ජෝ බේඩර් (Jo Bader): නවසීලන්තයේ වඩාත්ම දුෂ්කර ලිංගික අපරාධ නඩුවලදී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සමාජ සේවිකාවකි. ඇය පවසන්නේ ජනතාවට පොලිසිය විශ්වාස කිරීමට නම් පොලිස් පද්ධතිය උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.
  5. කැතරින් මැක්ෆිලිප්ස් (Kathryn McPhillips): දශක තුනක පළපුරුද්දක් ඇති සායනික මනෝවිද්‍යාඥවරියකි. පොලිසියේ පවතින අභ්‍යන්තර තත්ත්ව පාලන ක්‍රමවේදයන් තිබියදීත්, මෙම වැරදි සිදුවූයේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරයි.

🔴 “මම එන්නේ නැහැ” – ආරාධනාව ප්‍රතික්ෂේප කළ අලි මෝ (Ali Mau)
මෙම ප්‍රබල මණ්ඩලයට එක්වන ලෙස පොලිසිය කළ ආරාධනය ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක සහ ලිංගික හිංසනයන්ට එරෙහි ක්‍රියාකාරිනියක වන අලි මෝ විසින් එක හෙළා ප්‍රතික්ෂේප කර තිබේ.

ඇය ඊට හේතු දක්වමින් කියා සිටියේ, ලබන මාසයේදී තමා විසින් “ටිකා” (Tika) නමින් නව ස්වාධීන නීතිමය උපකාරක පුණ්‍යායතනයක් ආරම්භ කරන බවයි. ඉදිරියේදී මෙම පොලිස් නඩුවලට අදාළ වින්දිතයන් තමාගේ සංවිධානයේ සේවාලාභීන් වීමට ඉඩ ඇති බැවින්, තමා පොලිස් මණ්ඩලයේ සිටීමෙන් එම ආයතනයේ ස්වාධීනත්වයට සහ පොදුජන විශ්වාසයට හානි විය හැකි නිසා ඇය මෙම තීරණය ගෙන ඇත.

පොලිස් ඇමති මාර්ක් මිචෙල් (Mark Mitchell) ද මෙම ස්වාධීන මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අනුමත කර ඇති අතර, වින්දිතයන්ට උපරිම සහයෝගය දෙන බව පවසා ඇත. මෙම මණ්ඩලය සහ රජයේ ළමා හා කාන්තා ආයතන (Oranga Tamariki) එක්ව සති දෙකකට වරක් රැස්වෙමින් විමර්ශනවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතය.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *