
නවසීලන්තයේ Manawatū කලාපයේ පිහිටි Bulls Primary School ඉලක්ක කරගනිමින් ඉතාම නින්දිත ගණයේ සොරකමක් සිදුවී ඇති බව වාර්තා වේ. කිසියම් වංචනික පිරිසක් විසින් පාසල් ගොඩනැඟිලිවල වහලවල් සහ බිත්තිවල සවිකර තිබූ වටිනා තඹ කම්බි බට සහ පයිප්ප ගලවා සොරකම් කර තිබේ.
මෙම වංචාව වඩාත් දරුණු වන්නේ සොරුන් ලබාගත් තඹවල වෙළඳපොළ වටිනාකමට වඩා සිය දහස් ගුණයක විනාශයක් ඔවුන් විසින් පාසල් දේපළවලට සිදුකර තිබීමයි. තඹ පයිප්ප බලහත්කාරයෙන් ගලවා දැමීම නිසා පාසලේ වහලවල් රැසකට හානි සිදුවී ඇති අතර, ඉදිරි දිනවලදී ඇද හැලෙන වැසි ජලයෙන් පන්ති කාමර සහ විද්‍යුත් උපකරණ බේරා ගැනීම සඳහා පාසල් බලධාරීන්ට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත.
පාසලේ විදුහල්පතිවරයා පවසා සිටියේ, “මෙය අපේ දරුවන්ට සහ මුළු ප්‍රජාවටම කළ ලොකු අසාධාරණයක්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් දැන් අපට වැය කරන්න සිද්ධ වෙන්නේ සොරුන් නිසා කැඩුණු වහලවල් සහ පයිප්ප අලුත්වැඩියා කරන්නයි,” යනුවෙනි. මේ වන විට ප්‍රදේශයේ පොලිසිය විසින් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකටයුතු පුද්ගලයන් හෝ අබලි ද්‍රව්‍ය වෙළෙන්දන් වෙත කිසියම් අයෙකු තඹ අලෙවි කිරීමට පැමිණියහොත් වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලෝක වෙළඳපොළේ තඹ මිල ඉහළ යාමත් සමඟ මෑතකාලීනව නවසීලන්තයේ පාසල්, දේවස්ථාන සහ පොදු ගොඩනැඟිලි ඉලක්ක කරගනිමින් මෙවැනි තඹ සොරකම් ඉහළ ගොස් ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

0 Comments