
නවසීලන්තයේ දේශීය සුළු ව්‍යාපාරවලට සහයෝගය දැක්වීමේ අරමුණින් අන්තර්ජාලයෙන් ඇඳුම් පැළඳුම් ඇණවුම් කළ පාරිභෝගිකයින් විශාල පිරිසක් අතිශය සූක්ෂ්ම අන්තර්ජාල මූල්‍ය වංචාවකට හසුවී ඇති බව වාර්තා වේ.
මෑතකදී සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ ආකර්ෂණීය දැන්වීම් ඔස්සේ ‘The Hawke Sisters’ සහ ‘David Wellington’ වැනි නම්වලින් පෙනී සිටි වෙබ් අඩවි කිහිපයක් හරහා මොවුන් භාණ්ඩ ඇණවුම් කර තිබුණි. මෙම වෙබ් අඩවි තමන් නවසීලන්තයේ Arrowtown වැනි ප්‍රසිද්ධ සංචාරක නගරවල පිහිටි දේශීය ඇඟලුම් වෙළඳසැල් (Kiwi Boutiques) බව පවසමින්, ව්‍යාජ දේශීය ලිපින සහ කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද වෙළඳසැල්වල රූප රාමු ප්‍රදර්ශනය කර තිබුණි. එමෙන්ම, ව්‍යාපාරය වසා දමන බැවින් විශාල වට්ටම් දෙන බව පවසමින් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, Christchurch හි පදිංචි Gail Rule නමැති විශ්‍රාමික කාන්තාව තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පවසා සිටියේ, “මං හිතුවේ අලුතින් නැඟී එන අපේ රටේ දේශීය ව්‍යාපාරයකට උදව් කරනවා කියලා. නමුත් මට ලැබුණේ ප්ලාස්ටික් කිරි බෝතල්වලින් හැදුවා වගේ ඉතාම බාල ගණයේ ජැකට් එකක්,” යනුවෙනි. තවත් පාරිභෝගිකයින් පිරිසකට ඇණවුම් කළ භාණ්ඩ කිසිවක් නොලැබුණු අතර, සමහරුන්ගේ පාර්සල් නවසීලන්තයෙන් තැපැල් කරනවා වෙනුවට චීනයේ සිට පැමිණෙන බව Tracking දත්ත මඟින් අනාවරණය වී ඇත.
මෙම වංචාවන් නිසා සැබෑ දේශීය ව්‍යාපාරිකයන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇත්තේ, රැවටුණු පාරිභෝගිකයින් එම ප්‍රදේශවල සැබෑවටම පවතින වෙළඳසැල් වෙත පැමිණ චෝදනා කිරීමට පටන් ගැනීම නිසාය. නවසීලන්ත පාරිභෝගික අධිකාරිය (Consumer NZ) පවසන්නේ වංචනිකයන් දේශීය අනන්‍යතාවය සොරකම් කරමින් (Dropshipping) ක්‍රමවේද ඔස්සේ මෙලෙස මුදල් ගසාකන බවත්, නන්නාදුනන වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත්ය.

0 Comments