
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ලින්මෝල් වෙළඳ සංකීර්ණයේ Countdown සුපිරි වෙළඳසැල තුළ 2021 වසරේදී සිදු වූ බරපතළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අතිශය සංවේදී සහ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
එම නවතම වාර්තාවලට අනුව, ප්‍රහාරය එල්ල කළ Ahamed Aathill Mohamed Samsudeen නැමැති ත්‍රස්තවාදියා දැඩි මතධාරී අන්තවාදයකට යොමු වෙමින් පවතින බවත්, ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවත් නවසීලන්ත බලධාරීන් ප්‍රහාරයට වසර පහකට පෙර (2016 වසරේ සිටම) දැන සිටි බව හෙළි වී ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂම්සුදීන් නැමැති මෙම පුද්ගලයා, 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට පැමිණ පසුව සරණාගතභාවය (Refugee status) ඉල්ලා තිබුණි. කොරෝනර් වාර්තාවට අනුව, 2016 තරම් ඈත අතීතයකදී ඔහු ISIS සංවිධානයේ අන්තවාදී දෘෂ්ටිවාදයන් කෙරෙහි ආකර්ෂණය වී ඇති බව ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ (NZ SIS) විසින් හඳුනාගෙන තිබුණි.
එතැන් සිට වසර පහක් පුරා ඔහුව විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්‍රියාමාර්ග සහ දැඩි පොලිස් නිරීක්ෂණ (24/7 Surveillance) යටතේ තබා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, එවකට පැවති නවසීලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති රාමුව (Terrorism Suppression Act) තුළ තිබූ ඇතැම් නෛතික හිඩැස් හේතුවෙන්, ප්‍රහාරයක් සැලසුම් කිරීමේ චෝදනාව මත පමණක් ඔහුව දීර්ඝකාලීනව සිරගත කර තැබීමට බලධාරීන්ට නීතිමය හැකියාවක් තිබුණේ නැත.
🔴 ප්‍රහාරය සහ ඉන් පසු තත්ත්වය.
2021 සැප්තැම්බර් 3 වන දින, දැඩි පොලිස් නිරීක්ෂණ සහ පසුපස හඹායන ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් සිටියදීම, ඔහු ලින්මෝල් Countdown වෙළඳසැල තුළ තිබූ පිහියක් ගෙන එහි සිටි අහිංසක පාරිභෝගිකයන් වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේය. එහිදී පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබූ අතර, ප්‍රහාරය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත එහි සිටි විශේෂ පොලිස් නිලධාරීන් විසින් ත්‍රස්තවාදියාව වෙඩි තබා ඝාතනය කරන ලදී.
මෙම නවතම මරණ පරීක්ෂණ විමර්ශන මගින් මතු කර ඇත්තේ, වසර පහක් තිස්සේ මොහු පිළිබඳව දැඩි අවධානයෙන් සිටියදීත්, මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකි වූයේ මන්ද යන්නයි. බුද්ධි තොරතුරු සහ ආයතන අතර සම්බන්ධීකරණයේ පැවති අඩුපාඩු මෙන්ම, මෙවැනි දැඩි මානසික අස්ථාවරත්වයකින් සහ අන්තවාදී අදහස්වලින් පෙළුණු පුද්ගලයෙකු පුනරුත්ථාපනය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට තිබූ බාධාවන් මෙමගින් නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

0 Comments