
එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට නිව් යෝර්ක් නගර සභාවට ස්වාධීන නීතිමය බලයක් නොමැති බව නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි (Zohran Mamdani) පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, නෙතන්යාහු නිව් යෝර්ක් නගරයට කිසිසේත්ම සුදුසු අමුත්තෙකු නොවන බව පවසන නගරාධිපතිවරයා, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් නෙතන්යාහුට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස අමෙරිකානු ෆෙඩරල් රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
තම නගරාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී ජාත්‍යන්තර නීතිය නගරය තුළ බලගැන්වීමට කටයුතු කරන බවට ලබා දුන් පොරොන්දුවට අනුව, නගර සභාවේ නීති අංශය මගින් මේ පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කළ බව මම්දානි පවසයි. එහිදී නිව් යෝර්ක් නගරයේ පොලිසියට ජාත්‍යන්තර වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට නීතිමය ඉඩක් නොමැති බව තහවුරු වූ අතර, සමාජ මාධ්‍ය වෙත වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් නගරාධිපතිවරයා සඳහන් කළේ ඊශ්‍රායල අගමැතිවරයා “යුද අපරාධකරුවෙකු” ලෙස හඳුන්වමින් ගාසා තීරයේ සිදුවන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවයි.
ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම සහ සාගින්න යුධ උපක්‍රමයක් ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා මත 2024 වසරේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නෙතන්යාහු සහ හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, අමෙරිකාව සහ ඊශ්‍රායලය අදාළ ජාත්‍යන්තර ප්රඥප්තියට (Rome Statute) අත්සන් තබා නොමැති බැවින්, එම අධිකරණයේ බලතල පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.
මෙම ප්‍රකාශයත් සමග ජාත්‍යන්තර දේශපාලන කරළිය උණුසුම් වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තනාපති ඩැනී ඩැනොන් (Danny Danon) පවසා ඇත්තේ නගරාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයට අතනොදමා නගරයේ පාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. එසේම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සටහනක් තබමින් අවධාරණය කළේ අමෙරිකානු පසෙහිදී නෙතන්යාහු කිසිදු ලෙසකින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී නෙතන්යාහුගේ පැමිණීම මහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

0 Comments