
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකදී (Dog Daycare) සුනඛයන් සිව්දෙනෙකු මියයෑමේ සිද්ධියක් මුල්කරගනිමින් එහි හිමිකරුට එරෙහිව සතුන්ට හිංසා කිරීමේ බරපතල චෝදනා එල්ල වී තිබේ. Kumeū ප්‍රදේශයේ පිහිටි ‘ඩොග් මැනර්ස්’ (Dog Manners) නැමැති මෙම මධ්‍යස්ථානයේ සේවය කළ හිටපු සේවකයන් කිහිපදෙනෙකුම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ එහි හිමිකරු වන ෆිලිප් පේජ් නැමැත්තා විසින් සුනඛයන්ට අමානුෂික ලෙස හිරිහැර කළ බවයි.
මෙම ආන්දෝලනාත්මක පුවත කරලියට පැමිණියේ බ්‍රියර් මල්පාස් සහ ෆින් ටෙම්පල්ටන් යන යුවළට අයත් වයස අවුරුදු තුනක් වූ ‘වෝල්ටර්’ නමැති නිරෝගී Spoodle වර්ගයේ සුනඛයා මෙම මධ්‍යස්ථානයේ සිටියදී අභිරහස් ලෙස මියයෑමත් සමඟය. වෙනත් සුනඛයෙකු සමඟ ඇතිවූ සටනකින් වෝල්ටර් මියගිය බවට මධ්‍යස්ථානයේ හිමිකරු ප්‍රකාශ කළද, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ බාහිරින් එල්ල වූ අධික පහරදීමක් නිසා ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් සතාගේ මරණය සිදුව ඇති බවයි.
මෙම සිදුවීමෙන් පසු අදහස් දැක්වූ හිටපු සේවකයන් හෙළිකර ඇත්තේ මීට පෙරද මෙම ස්ථානය තුළදී අමානුෂික ලෙස දඬුවම් කිරීම් සහ පහරදීම් නිසා තවත් සුනඛයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි. නවසීලන්තයේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනී පෝලා පෙන්ෆෝල්ඩ් විසින් කරන ලද අනාවරණයෙන් පසුව, සතුන් කෙරෙහි වන හිංසනය වැළැක්වීමේ සංගමය (SPCA) මගින් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, පරීක්ෂණ පවත්වන බැවින් චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම හිමිකරු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙතෙක් ඔහුට එරෙහිව නීතිමය ගොනුකිරීමක් සිදුව නොමැත. මෙම ශෝචනීය සිදුවීමත් සමඟ නවසීලන්තයේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථාන සඳහා විධිමත් රාජ්‍ය නියාමනයක් පැවැතීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳවද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

0 Comments