
ජර්මනියේ බර්ලින් නුවර පැවති ක්‍රිස්ටෝපර් ස්ට්‍රීට් ඩේ (Christopher Street Day) ප්‍රයිඩ් උත්සවයකට රැස්ව සිටි පිරිසක් වෙත කුඩා වෑන් රථයක් ධාවනය කරවා, අනතුරුව පිහියකින් පහර දී එක් අයෙකු ඝාතනය කර තවත් 29 දෙනෙකුට තුවාල සිදුකළ ප්‍රධාන සැකකරු විශේෂ පොලිස් බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රී 10.00 ට පමණ මෙම බිහිසුණු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු පලාගිය 21 හැවිරිදි ජර්මානු ජාතික අබ්දුල් බැලවුට් නමැති මෙම සැකකරු, බර්ලිනයේ Spandau දිස්ත්‍රික්කයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පිහියකින් පහර දීමට තැත් කිරීමත් සමඟ මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්ලෝරියන් නාත් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ්ට් තහවුරු කළ පරිදි, ලෙබනන් සම්භවයක් සහිත මවකගේ පුතෙකු වන මෙම සැකකරු මීට පෙරද අයි.එස් (ISIS) ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වීමට උත්සාහ කිරීම සහ ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි අයෙකි.
සිදුවීමෙන් තුවාල ලැබූ 29 දෙනාගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල වුවද ඔවුන්ගේ ජීවිතවලට අවදානමක් නොමැති අතර, රථයේ සිටි බවට සැකකෙරෙන තවත් අයෙකු පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සංවිධායකයින් විසින් ප්‍රයිඩ් උත්සවය වහාම නතර කිරීමට පියවර ගත් අතර, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් මෙම සිදුවීම පිළිකුල්සහගත ක්‍රියාවක් ලෙස හෙළා දකිමින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත. ඉදිරි මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම ඛේදනීය සිදුවීමත් සමඟ ජර්මනිය තුළ ආරක්ෂාව සහ මුස්ලිම් සංක්‍රමණිකයන් පිළිබඳ විවාදය නැවතත් උණුසුම් වී ඇති අතර, මෙය සංක්‍රමණික විරෝධී ‘AfD’ පක්ෂයේ දේශපාලන සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට හේතුවනු ඇති බවට විචාරකයෝ මත පළ කරති.

0 Comments