
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය සහ බලපෑම හමුවේ නව පාසල් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට තබා තිබූ කාලරාමුව දීර්ඝ කිරීමට නවසීලන්ත අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රජය විසින් යෝජනා කරන ලද පටු කාලරාමුව ප්‍රායෝගික නොවන බවත්, ප්‍රමාණවත් සූදානමකින් තොරව එකවර විෂයයන් ගණනාවක් වෙනස් කිරීමෙන් පන්ති කාමරයේ ඉගෙනුම් ක්‍රියාවලියට දැඩි හානියක් සිදුවන බවත් පෙන්වා දෙමින් ප්‍රාථමික ගුරුවරුන්ගේ සංගමය (NZEI Te Riu Roa) සහ විදුහල්පතිවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශව රැසක් එක්ව විවෘත සංදේශයක් මගින් රජයට කළ බලපෑමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
අලුතින් සංශෝධනය කරන ලද කාලසටහනට අනුව, 1 සිට 8 ශ්‍රේණි දක්වා වන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, කලා විෂයයන්, තාක්ෂණය සහ විදේශ භාෂා යන විෂය ක්ෂේත්රයන් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමේ අවසාන දිනය 2029 වසර දක්වා කල් දමා තිබේ. එමෙන්ම 1 සිට 8 ශ්‍රේණි සඳහා වන විද්‍යාව සහ මානව විද්‍යා විෂයන් 2027 වසරේදී හඳුන්වා දීමට නියමිත වුවද, ඒවා එකවරම අනිවාර්ය නොකර 2027 සහ 2028 වසර දෙක තුළ අදියර වශයෙන් නම්‍යශීලීව පන්ති කාමරයට එකතු කිරීමට පාසල්වලට ඉඩ දී ඇති අතර, 9 සහ 10 ශ්‍රේණි සඳහා වන වෙනස්කම් සැලසුම් කළ පරිදිම 2027 වසරේදී සිදුකිරීමට නියමිතය.
ගුරුවරුන් වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රාථමික ගුරුවරුන්ගේ සංගමයේ ජාතික ලේකම් ස්ටෙෆනි මිල්ස් සඳහන් කළේ, නව විෂය මාලාවන් අවබෝධ කර ගැනීමට, වෘත්තීය පුහුණුව ලබා ගැනීමට සහ සිසුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පාඩම් සකස් කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් රජයේ මෙම තීරණය ලැබූ විශාල ජයග්‍රහණයක් බවයි. කෙසේ වෙතත්, කාලය දීර්ඝ කළද යෝජිත නව විෂය මාලාවේ අන්තර්ගතය ඕනෑවට වඩා මතක තබා ගැනීමට මුල්තැන දෙන පැරණි ක්‍රමවේදයකට බර වී ඇති බවත්, මූලික සංකල්ප සහ විශ්ලේෂණාත්මක චින්තනය එයින් ගිලිහී ඇති බවත් අධ්‍යාපනවේදීන් තවදුරටත් චෝදනා කරයි. 2026 වසරේ මැද භාගයේදී සම්පූර්ණ විෂය මාලාව අන්තර්ජාලයට මුදා හැරීමට අමාත්‍යාංශය සූදානම් වන අතර, මෙම කාලය දීර්ඝ කිරීම මගින් ගුරුවරුන්ට යම් සහනයක් ලැබී තිබේ.

0 Comments