← BACKEducation

ඩිජිටල් යුගයේ අත්අකුරු අර්බුදය! දරුවන්ගෙන් 60%කට වැඩි පිරිසක් පැන්සල අල්ලන හැටි වැරදියි!

BY Dhanush•PUBLISHED NOVEMBER 11, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ පාසල් දරුවන්ගෙන් තුනෙන් දෙකක්ම නිවැරදි ලෙස පැන්සල හෝ පෑන ඇල්ලීමේ සාම්ප්‍රදායික ක්‍රමය භාවිත නොකරන බව ඔටාගෝ විශ්වවිද්‍යාලය (University of Otago) ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකළ අලුත්ම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. ළමුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් තත්පර 60ක් ඇතුළත ඉංග්‍රීසි හෝඩියේ අකුරු ලිවීමේ පරීක්ෂණයක් ඇසුරින් සිදුකළ මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත්තේ, සාම්ප්‍රදායිකව භාවිත වන ඇඟිලි තුනෙන් පැන්සල අල්ලා ගැනීමේ ක්‍රමය (tripod grip) භාවිත කරන්නේ දරුවන්ගෙන් තුනෙන් එකක් වැනි අඩු අගයක් පමණක් බවයි. බහුතරයක් දරුවන් මාපට ඇඟිල්ල අනෙක් ඇඟිලි මත ඔතාගැනීමේ ක්‍රමය (thumb-wrap grip) ඇතුළු වෙනස් ක්‍රමවේදවලට හුරු වී සිටිති.

ප්‍රධාන පර්යේෂිකා ජෙනී වෝඩ් (Jenny Ward) පෙන්වා දෙන්නේ, පැන්සල වෙනස් ලෙස ඇල්ලූ පමණින් දරුවෙකුගේ ලිවීමේ හැකියාව මුළුමනින්ම දුර්වල නොවන නමුත්, එය අකුරුවල හැඩය නිවැරදිව ලිවීමට සහ ලිවීමේ වේගයට යම් බාධාවක් විය හැකි බවයි. මෙම අධ්‍යයනයේදී දරුවන්ගෙන් 64%ක් පමණ “k” අකුර නිවැරදිව ලිවීමට අපොහොසත් වූ අතර, “f” සහ “j” අකුරු ලිවීමේදී පිළිවෙලින් 34%ක් සහ 28%ක් ලෙස දරුවන් වැරදි සිදුකර ඇත. “The Writing Teacher” ආයතනයේ නිර්මාතෘ හෙලන් වෝල්ස් (Helen Walls) සඳහන් කළේ, 2000 වසරෙන් පසු පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් 10%කට පමණක් පාසල් පුහුණු සමයේදී අත්අකුරු උගන්වන ආකාරය පිළිබඳ විධිමත් පුහුණුවක් ලැබී තිබීම මෙයට ප්‍රධාන හේතුවක් බවයි.

පරිගණක සහ ස්මාර්ට්ෆෝන් බහුල වර්තමාන ඩිජිටල් යුගයේදී වුවද, අතින් අකුරු ලිවීම මඟින් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ භාෂා සංවර්ධනය උත්තේජනය වන බව ස්නායු විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නවසීලන්තයේ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් (Erica Stanford) ප්‍රකාශ කළේ, නවීකරණය කරන ලද පාසල් විෂයමාලාව තුළ අත්අකුරු ලිවීම සම්බන්ධයෙන් පැහැදිලි සහ විධිමත් උපදෙස් ඇතුළත් කර ඇති බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *