
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය මූලික කරගනිමින් සිදුකළ දැවැන්ත රහසිගත මෙහෙයුමකින් පසුව, වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ කාන්තාවන් සහ කුඩා ගැහැණු ළමයින් රහසිගතව ඡායාරූපගත කරමින් හා වීඩියෝ ගත කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ දෘශ්‍ය දත්ත ගබඩාවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ‘ඔපරේෂන් ෆ්‍රොස්ට්’ (Operation Frost) නමින් ඕක්ලන්ඩ් ළමා අපයෝජන විමර්ශන ඒකකය මගින් ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී, අදාළ දර්ශනවල සිටින සිය ගණනක් වූ වින්දිතයන් කවුරුන්දැයි හඳුනාගැනීමේ අභියෝගයට මේ වන විට පොලිසිය මුහුණ දී සිටියි.
ඕක්ලන්ඩ්, Waiheke Island සහ Taupō යන ප්‍රදේශයන්හි පිහිටි පරිශ්‍රයන් සෙවුම් වරෙන්තු මත පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව 40 හැවිරිදි ඕක්ලන්ඩ් වැසියෙකු අත්අඩංගුවට ගෙන දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. රහසිගත සමීප රූප රාමු ලබාගැනීම හා ළඟ තබාගැනීම, අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කිරීම, වංචනික ලෙස පරිගණක පද්ධතිවලට පිවිසීම සහ අවුරුදු 12ට අඩු කුඩා දරුවෙකු සම්බන්ධ ලිංගික අපයෝජනය ඇතුළු චෝදනා 40කට වැඩි ප්‍රමාණයක් ඔහුට එරෙහිව ගොනුකර තිබේ.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී වැඩිහිටි කාන්තාවන් සහ කුඩා ගැහැණු ළමයින් 22 දෙනෙකු නිශ්චිතවම හඳුනාගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් දත්ත ගබඩාවල සිටින අනෙකුත් සිය ගණනක් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වේ. ඩිජිටල් තාක්ෂණය සහ ක්ලවුඩ් (cloud) දත්ත ගබඩා භාවිත කරමින් සිදුකෙරෙන මෙවැනි රහසිගත අපරාධයන් වැළැක්වීමේ වැදගත්කම මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වී ඇති අතර, හඳුනාගත් වින්දිතයන්ට සහන සැලසීමටත්, අත්අඩංගුවට ගත් උපකරණ ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමටත් බලධාරීන් පියවර ගනිමින් සිටිති.

0 Comments