
නවසීලන්තයේ උගතුන් සහ වෘත්තිකයන් විදෙස්ගත වීම වැළැක්වීමේ අරමුණින්, එරට තුළ රැඳී සිටින උපාධිධාරීන්ගේ ශිෂ්‍ය ණය ආපසු ගෙවීමේ අනුපාතය සියයට 12 සිට සියයට 10 දක්වා අඩු කිරීමට නවසීලන්ත පාලක ජාතික පක්ෂය (National Party) තීරණය කර තිබේ. ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පාලක පක්ෂය විසින් ඉදිරිපත් කළ මෙම නව ප්‍රතිපත්තිය මගින් දේශීය රැකියාවල නියුතු තරුණ තරුණියන්ගේ මාසික වැටුපෙන් කැපෙන ශිෂ්‍ය ණය වාරිකය අඩු වන අතර, එමගින් ඔවුන්ට සැලකිය යුතු ජීවන බර සහනයක් ද හිමිවනු ඇත. කෙසේ වෙතත්, උපාධිය ලැබීමෙන් පසු ණය නොගෙවා විදේශගත වන පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා දැඩි නීතිරීති, වැඩි කළ පොලී අනුපාත සහ දඩ මුදල් පැනවීමට ද මෙම ප්‍රතිපත්තිය යටතේ සැලසුම් කර ඇත.
මැතිවරණ ප්රචාරක රැලියකදී මෙම ප්‍රතිපත්තිය එළිදක්වමින් අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් (Christopher Luxon) සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත දේශීය දක්ෂයන් ඇදී යාම වැළැක්වීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවයි. හෙදියන්, ගුරුවරුන්, ඉංජිනේරුවන් සහ අනෙකුත් වෘත්තිකයන්ට තම රට තුළම රැඳී සිටිමින් අනාගතය ගොඩනගා ගැනීමට සහාය වීම සඳහා මෙම සහනය ලබාදෙන බව පැවසූ අගමැතිවරයා, දේශීය ආර්ථිකයට දායක වන තරුණයන්ට මෙලෙස සෘජු මූල්‍යමය වාසියක් හිමිකර දෙන බව අවධාරණය කළේය. එළඹෙන නොවැම්බර් 07 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික පක්ෂය නැවත බලයට පත්වුවහොත්, ඉදිරි බදු වර්ෂයේ සිටම මෙම නව ශිෂ්‍ය ණය සහන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

0 Comments