
නවසිලන්තයේ ඉන්ධන මිළ ගණන් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස ඉහළ යමින්, පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 4 සීමාව ද පසුකර තිබීම නිසා මෙරට රියදුරන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. Gaspy ඉන්ධන දත්ත වාර්තාවලට අනුව, පසුගිය දින 28 තුළ රට පුරා ඔක්ටේන් 91 පෙට්‍රල් මිළ සියයට 11 කින් ඉහළ ගොස් ලීටරයක සාමාන්‍ය මිළ ඩොලර් 3.61 ක් සහ ඩීසල් ලීටරයක් ඩොලර් 3.23 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඕක්ලන්ඩ් හි නිව් ලින් (New Lynn) ප්‍රදේශයේ ‘බීපී’ (BP) පිරවුම්හලක ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඩොලර් 4.11 ක් වැනි ඉහළ අගයකට අලෙවි වන බව වාර්තා වේ.
මැදපෙරදිග පවතින උග්‍ර යුදමය තත්ත්වය, ලෝක වෙළඳපොලේ බොරතෙල් නිෂ්පාදනය අඩුවීම, අතිවිශාල නාවික ප්‍රවාහන ගාස්තු සහ නවසීලන්ත ඩොලරයේ අගය පහත වැටීම යන කරුණු මෙම දැඩි මිළ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඉදිරි නත්තල් උත්සව සමය දක්වාම මෙම තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව පවසන නවසීලන්ත මෝටර් රථ සංගමයේ (AA) ප්‍රකාශක ටෙරී කොලින්ස් (Terry Collins) සහ ඒඑන්ඉසෙඩ් (ANZ) ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ මයිල්ස් වර්ක්මන් (Miles Workman), මැදපෙරදිග අර්බුදයට විසඳුමක් ලැබුණද අඩාල වූ ලෝක තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වීමට සහ තෙල් සංචිත නැවත ගොඩනැගීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව පෙන්වා දෙති.
පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් මෙරට ජනතාවගේ ඉන්ධන වියදම සියයට 2.9 කින් ඉහළ ගොස් ඇති අතර, මෙම දැඩි ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා එදිනෙදා ජීවන වියදම ද තවදුරටත් ඉහළ යනු ඇත.

0 Comments