
නවසීලන්තයේ දේපළ වෙළඳපොළ තුළ නිවාස විකුණුම්කරුවන් දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව ඇති අතර, පසුගිය කාර්තුව තුළ මිලදී ගත් මිලට වඩා අඩුවෙන් නිවාස අලෙවි වීමේ ප්‍රතිශතය වසර 14 කින් වාර්තා වූ ඉහළම අගයට පැමිණ තිබේ. දේපළ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන ‘Cotality’ නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, අලෙවි වූ සමස්ත දේපළවලින් 15.8% ක්ම පාඩු ලබමින් විකුණා ඇත. මෙය 2011 වසරේ තෙවන කාර්තුවෙන් පසු වාර්තා වූ දරුණුතම තත්ත්වයයි. ප්‍රධාන දේපළ ආර්ථික විද්‍යාඥ කෙල්වින් ඩේවිඩ්සන් (Kelvin Davidson) පවසන්නේ වෙළඳපොළේ පවතින අධික නිවාස සැපයුම, ඉහළ යන උකස් පොලී අනුපාත සහ ආර්ථික අවිනිශ්චිතතාවය හේතුවෙන් නැවත විකුණුම්කරුවන්ට වසර 14 කට පසු අසීරුම කාලපරිච්ඡේදයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
ප්‍රාදේශීය වශයෙන් බලන විට වැඩිම පාඩු ලැබීම් වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඩ් (25.5%), වෙලින්ටන් (20.4%) සහ නෙල්සන් (20%) යන ප්‍රධාන නගරවලිනි. කෙසේ වෙතත්, ක්‍රයිස්ට්චර්ච් (7.5%), ඩනෙඩින් (6.9%) සහ ක්වීන්ස්ටවුන් (5.5%) යන ප්‍රදේශවල එම තත්ත්වය සාපේක්ෂව අවම මට්ටමක පවතී. දේපළ වර්ගීකරණය අනුව මහල් නිවාසවලින් (apartments) අඩක් පමණ පාඩු ලබා අලෙවි වී ඇති අතර, ටවුන්හවුස් (townhouses) 22.5% ක් සහ තනි නිවාස 13.4% ක් පාඩු ලබා ඇත. ලාභ ලැබූ හිමිකරුවන් සාමාන්‍යයෙන් වසර 10.4 ක් තම දේපළ තබාගෙන ඇති අතර, පාඩු ලැබූවන් ඒවා හිමිකරගෙන සිට ඇත්තේ වසර 4.5 ක් වැනි කෙටි කාලයකි.
මෙම තත්ත්වය පද්ධතිමය මූල්‍ය අර්බුදයකට වඩා වෙළඳපොළ වටිනාකම් සාමාන්‍යකරණය වීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විකුණුම්කරුවන්ට මෙය අභියෝගාත්මක කාලයක් වුවද, වෙළඳපොළ තුළ වැඩි තෝරාගැනීම් සහිතව නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට මෙය ඉතා වාසිදායක අවස්ථාවක් නිර්මාණය කර තිබේ.

0 Comments