
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ඇතිවූ තත්ත්වය තවමත් අවසන් වී නැත. මෙම පසුබිම තුළ අමෙරිකානු යුද නැව් දෙකක් එම සන්ධිය හරහා ගමන් කළ බවට වාර්තා වූ අතර, එය ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු තවදුරටත් ඉහළ දමා ඇත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති බාධක ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අමෙරිකානු නාවික හමුදාව විසින් එම ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් ටෙහෙරානයේ බලධාරීන් සමඟ කිසිදු සම්බන්ධීකරණයක් සිදු නොකළ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව, Truth Social වෙබ් අඩවියේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයේ නාවික සහ ගුවන් හමුදා ශක්තිය දැඩි ලෙස දුර්වල කර ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා කඩිනමින් විවෘත වනු ඇති බවත්, ඒ අනුව ඉරානයට බෝම්බ ප්‍රහාර නවතා දැමූ බවත් ඔහු පවසයි. එමෙන්ම අමෙරිකානු තෙල් ලෝකයේ ඉහළම ගුණාත්මක තෙල් ලෙස සඳහන් කරමින්, එය ප්‍රවාහනය කිරීමට තෙල් නැව් දිගටම පැමිණෙන බවත් ඔහු කියා සිටියේය.
මේ අතර, අමෙරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා අමෙරිකානු නාවික යාත්‍රා දෙකක් ගමන් කළ බව සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බව ප්‍රකාශ කළද, එම ප්‍රකාශය ඉරානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
ඉරාන සන්නද්ධ හමුදා මූලස්ථානය පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර ලබාදීම සම්පූර්ණයෙන්ම ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන්ගේ වගකීමක් බවයි. එමෙන්ම නිශ්චිත කොන්දේසි යටතේ සිවිල් යාත්‍රාවලට පමණක් එම මාර්ගය භාවිතා කිරීමට අවසර ඇති බවත්, ඒවා උල්ලංඝනය කරන ඕනෑම යාත්‍රාවකට දැඩි හා තීරණාත්මක ප්‍රතිචාර ලබාදෙන බවත් ඔවුන් අවධාරණය කර ඇත.
මෙම පරස්පර ප්‍රකාශයන් හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ඇති ආරක්ෂක තත්ත්වය තවදුරටත් අර්බුදකාරී වන අතර, ජාත්‍යන්තර වෙළඳ හා ඉන්ධන සැපයුම් මාර්ගයන්ටද බලපෑම් ඇතිවිය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

0 Comments