
නවසීලන්ත ඉතිහාසයේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන ඩොලර් බිලියන 5.5 ක ‘සිටි රේල් ලින්ක්’ (City Rail Link – CRL) ව්‍යාපෘතිය මීට වඩා “අඩක් අඩු මිලකට” නිම කිරීමට තිබූ බව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Dr. Sean Sweeney ප්‍රකාශ කිරීමත් සමඟ Auckland නගර සභා මන්ත්‍රීවරු දැඩි ලෙස කෝපයට පත්ව සිටිති.
වසරකට බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් 940,000 ක දැවැන්ත වැටුපක් ලැබූ ස්වීනි, විදේශගත වීමෙන් පසු මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස සුඛෝපභෝගී කර (gold-plated) මුදල් නාස්ති කර ඇති බවයි. යුරෝපයේ මීටර් 60 ක් දිග දුම්රිය ස්ථාන හදන විට, නවසීලන්තයේ අනාගතය ගැන සිතා මීටර් 200 ක් දිගැති දැවැන්ත ස්ථාන නිර්මාණය කිරීම නිසා පිරිවැය 62% කින් (ඩොලර් බිලියන 3.4 සිට 5.5 දක්වා) ඉහළ ගිය බව ඔහු පෙන්වා දුන්නේය.
“අපිට අවශ්‍ය වුණේ ටොයෝටා කොරොල්ලා (Toyota Corolla) වැනි සරල දෙයක්, නමුත් අපි හැදුවේ රෝල්ස් රොයිස් (Rolls-Royce) එකක්,” යැයි ඔහු පැවසීය.
🔴 ප්‍රකාශය ගැන නගර සභාවේ සහ රජයේ ප්‍රතිචාරය.
මෙම ප්‍රකාශයත් සමඟ ඔක්ලන්ඩ් නගර සභාව දැඩි ලෙස කැළඹීමට පත් විය. මන්ත්‍රීවරුන් පවසන්නේ මෙතරම් විශාල වැටුපක් ලබාගත් නිලධාරියෙකු, තනතුරෙන් අයින් වනතුරු කිසිවක් නොකියා, දැන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම බදු ගෙවන ජනතාවට කරන අසාධාරණයක් බවයි.
එමෙන්ම, තමන්ට මෙවැනි මෙට්‍රෝ දුම්රිය ස්ථාන හැදීමේ ප්‍රමාණවත් පළපුරුද්දක් ව්‍යාපෘතිය භාරගන්නා විට නොතිබූ බව ස්වීනි විසින්ම පිළිගැනීම නගර සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
කෙසේ වෙතත් මෙම දැවැන්ත මූල්‍ය නාස්තිය සහ මතභේදය හේතුවෙන්, ප්‍රවාහන අමාත්‍ය ක්‍රිස් බිෂොප් (Chris Bishop) ප්‍රකාශ කළේ මෙම ඩොලර් බිලියන 5.5 ක ව්‍යාපෘතියේ සැලසුම් සහ පිරිවැය අධික වූයේ ඇයිද යන්න සෙවීමට රජය මඟින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවයි.

0 Comments