← BACKEconomy

ඕස්ට්‍රේලියානු ගුවන් මගීන්ට නරක ආරංචියක්! ගුවන් යානය තුළ ගමන් මලු තැබීමටත් මුදල් අය කෙරේ!

BY DhanushPUBLISHED AUGUST 5, 20261 MIN READ0 COMMENTS

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන ජෙට්ස්ටාර් (Jetstar) සමාගම සිය මගීන්ගේ ගමන් මලු ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනසක් සිදු කරමින්, ගුවන් යානය තුළ හිසට ඉහළින් ඇති ගමන් මලු තැන්පත් කරන කුටි (overhead lockers) භාවිත කිරීම සඳහා ඉදිරියේදී අමතර ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබේ. 2027 වසරේ පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන මෙම නව රෙගුලාසි යටතේ, සාමාන්‍ය ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා මගියෙකුට ගුවන් යානය තුළට නොමිලේ රැගෙන යා හැකිවන්නේ ඉදිරිපස අසුන යට තැබිය හැකි කුඩා ගමන් මලුවක් (underseat bag) පමණි.

මෙම නව ක්‍රමවේදය යටතේ කිලෝග්‍රෑම් 10 දක්වා බරැති පසුම්බියක්, ලැප්ටොප් බෑගයක් හෝ කුඩා පසුපස බෑගයක් (backpack) නොමිලේ රැගෙන යාමට අවස්ථාව හිමි වන අතර, ඊට වඩා විශාල ගමන් මලුවක් යානයේ හිසට ඉහළින් ඇති කුටියක තැබීමට අවශ්‍ය නම් “ප්‍රමුඛතා ගමන් මලු” (Priority Carry-on) නමැති අමතර පහසුකම මිලදී ගත යුතුය. ගමනාන්තය අනුව මෙම පහසුකම සඳහා එක් පසෙකට ඩොලර් 25 සිට 52 දක්වා (ලොන්සෙස්ටන් සිට සිඩ්නි දක්වා ඩොලර් 25ක්, සිඩ්නි සිට මෙල්බර්න් දක්වා ඩොලර් 33ක්, පර්ත් සිට බාලි දක්වා ඩොලර් 39ක් සහ කෑන්ස් සිට ටෝකියෝ දක්වා ඩොලර් 52ක් ලෙස) අමතර මුදලක් ගෙවීමට සිදුවන අතර, ඒ සමඟ මගීන්ට පළමුව යානයට ගොඩවීමේ විශේෂ හිමිකම ද හිමි වේ. කෙසේ වෙතත්, කුඩා දරුවන් සමඟ ගමන් කරන මවුපියන්ට අමතර බෑගයක් නොමිලේ රැගෙන යාමට අවසර හිමිවන අතර පරීක්ෂා කර භාරදෙන ගමන් මලු (checked baggage) සඳහා වූ නීති වෙනස් නොවේ.

ගුවන්තොටුපළේදී ගමන් මලුවල බර මැනීමේදී සහ ඒවා තැන්පත් කිරීමට ඉඩ සොයාගැනීමේදී මගීන් සහ කාර්ය මණ්ඩලය මුහුණ දෙන දැඩි අපහසුතාවලට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බව ජෙට්ස්ටාර් හි ප්‍රධාන විධායක නිලධාරිනී ස්ටෙෆනි ටලි (Stephanie Tully) ප්‍රකාශ කළාය. යුරෝපයේ RyanAir සහ EasyJet වැනි ලාභදායී ගුවන් සේවා භාවිත කරන මෙම පියවර හරහා යානයට ගොඩවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි වන බව සමාගම පැවසුවද, ප්‍රවාහන අමාත්‍ය කැතරින් කිං (Catherine King) ගේ ප්‍රකාශකයෙකු ඇතුළු පාරිභෝගික සංවිධාන පෙන්වා දෙන්නේ මෙයින් සැබවින්ම මගීන්ට සහනයක් ලැබෙන්නේදැයි සමාගම තහවුරු කළ යුතු බවයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *