← BACKCulture

ඕක්ලන්ඩ් හි පෞරාණික කැරින්ටන් රෝහල සුරකින්න ජනතාව වීථි බසී!

BY DhanushPUBLISHED AUGUST 10, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පිහිටි ඓතිහාසික කැරින්ටන් රෝහල් (Carrington Hospital) ගොඩනැගිල්ල වගකිවයුතු අංශවල අතපසුවීම් සහ නොසලකා හැරීම් නිසා විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවට පවසමින් උරුම සුරැකීමේ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වී තිබේ. “විනාශය වහා නතර කරනු” (Stop the Rot) යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් Point Chevalier හි පිහිටි මෙම පෞරාණික ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ, රජයේ ආයතන මැදිහත් වී ගොඩනැගිල්ල වහාම ආවරණය කර ආරක්ෂිත පියවර නොගතහොත් අයහපත් කාලගුණය හමුවේ මෙයට පිළියම් යෙදිය නොහැකි මට්ටමේ දැඩි හානියක් සිදු වන බවයි.

ක්‍රි.ව. 1877 දී ‘වෝ මානසික රෝහල’ (Whau Lunatic Asylum) ලෙස ආරම්භ කර පසුව ඕක්ලි රෝහල (Oakley Hospital) සහ කැරින්ටන් රෝහල ලෙස ප්‍රකට වූ මෙම ගොඩනැගිල්ල නවසීලන්තයේ විශාලතම මෙන්ම ඉපැරණි ගඩොල් නිර්මාණයකි. දශක ගණනාවක් පුරා මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙසත්, පසුව යුනිටෙක් තාක්ෂණික ආයතන (Unitec Institute of Technology) පරිශ්‍රයේ කොටසක් ලෙසත් පැවති මෙය, පසුව නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය (Ministry of Housing and Urban Development) යටතේ රජයේ දේපළක් බවට පත් විය.

නවසීලන්තයේ ඉහළම පෞරාණික වටිනාකම හිමි ‘පළමු කාණ්ඩයේ’ (Category 1) උරුමයක් ලෙස නම් කර තිබුණද, නඩත්තු නොකිරීම හේතුවෙන් කැඩී ගිය ජනෙල්, කාන්දු වන වහල සහ අභ්‍යන්තර තෙතමනය නිසා ගොඩනැගිල්ල සීඝ්‍රයෙන් දිරාපත් වෙමින් පවතී. මෙය හිතාමතාම සිදුකරන “නොසලකා හැරීම මගින් විනාශ කිරීමේ” උපක්‍රමයක් බවට චෝදනා එල්ල වන අතර, එහි අරමුණ ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමට ගොඩනැගිල්ල දිරාපත් වීමට හැරීම බව විරෝධතාකරුවෝ පවසති.

මෙම අර්බුදය මතුව ඇත්තේ එම භූමිය ආශ්‍රිතව නව නිවාස දහස් ගණනක් ඉදිකිරීමේ විශාල නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතරතුරදීය. මෙම ගොඩනැගිල්ල භූමිකම්පාවලට ඔරොත්තු දෙන සේ ශක්තිමත් කිරීමට සහ නැවත භාවිතයට සුදුසු පරිදි සකස් කිරීමට ඩොලර් මිලියන ගණනක් වැය වන නමුත්, ජලකාන්දු වැළැක්වීම සහ කාලගුණයෙන් ආරක්ෂා කිරීම වැනි මූලික නඩත්තු සඳහා වැය වන්නේ ඉතා අඩු මුදලක් බව පෙන්වා දෙන උරුම සුරැකීමේ සංවිධාන, බලධාරීන් එම මූලික පියවර පවා මගහැරීම කණගාටුදායක බව වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *