
නවසීලන්තයේ ටයිනුයි (Tainui) ප්‍රදේශයේ පැවැති ‘කාපා හකා’ (Kapa Haka) සංස්කෘතික උළෙලකදී ඉදිරිපත් කළ එක්තරා නර්තනයක් හේතුවෙන් මේ වන විට එරට තුළ දැඩි කතාබහක් සහ මතභේදයක් හටගෙන තිබේ. ‘ටේ පේ කහුරංගි’ (Te Pae Kahurangi) නම් කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද මෙම හකා නර්තනය හරහා ඉන්දියානු සංස්කෘතියට සහ එරට ඉන්දියානු සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන, පර්ම්ජීත් පර්මාර් මහත්මියට අපහාස කර ඇති බවට චෝදනා එල්ල වේ. මෙම නර්තනයේදී ඉන්දියානු උච්චාරණය අනුකරණය කිරීම, වැඳීම සහ බිම වාඩි වී සිටින ආකාරය සමච්චලයට ලක් කිරීම වැනි දෑ සිදු කර ඇති අතර, මෙය ජාතිවාදී සහ කාන්තාවන්ට අපහාස කරන සුළු ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දී ඇත.
විශේෂයෙන්ම මාඕරි (Māori) සහ ඉන්දියානු යන දෙමුහුන් උරුමයක් සහිත ක්‍රියාකාරිනියක වන වෛද්‍ය ජෙසිකා හචින්ග්ස් පවසන්නේ, තමන්ගේම සංස්කෘතිය මේ අයුරින් සමච්චලයට ලක් කිරීමෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත් වූ බවයි. ඇය අවධාරණය කරන්නේ එක් පීඩිත කණ්ඩායමක් තවත් පීඩිත කණ්ඩායමකට මෙලෙස පහර දීම අනුමත කළ නොහැකි බවයි.
මීට අමතරව නවසීලන්තයේ බොහෝ දේශපාලන නායකයින් සහ ඉන්දියානු ප්‍රජා නායකයින් ද මෙම සිදුවීම හෙළා දැක ඇති අතර, ඕනෑම දේශපාලන මතභේදයක් සංස්කෘතියකට අපහාස නොවන අයුරින් ප්‍රකාශ කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම විරෝධය හමුවේ අදාළ නර්තන කණ්ඩායම ඉන්දියානු ප්‍රජාවගෙන් සමාව අයැද ඇති අතර, ඔවුන් පවසන්නේ තම ඉලක්කය වූයේ දේශපාලනඥවරිය මිස සමස්ත ඉන්දියානු ප්‍රජාව නොවන බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීමේ බැරෑරුම්කම සලකා බලා නවසීලන්ත රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය හරහා මෙම නර්තනයේ දර්ශන ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. මෙය රටක් ලෙස සහෝදරත්වයෙන් ජීවත් විය යුතු කාලයක සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.

0 Comments