← BACKCulture

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවටම ගෙනගිය රවීන් අන්නාමලෙයි මහතා, නවසීලන්ත රජුගේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි!

BY DhanushPUBLISHED JUNE 2, 20261 MIN READ0 COMMENTS

ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකිකයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මව්බිමට කීර්තියක් අත්කර දෙන අවස්ථා අපමණයි. ඒ අතරින්, නවසීලන්තයේ වෙසෙන විශිෂ්ටයින් දෙදෙනෙකු විසින් මෙවර මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් ආඩම්බරයක් ගෙන දී තිබෙනවා. ඉන් කාන්තාවක් වූ වෛද්‍ය උදයාංගනී සමරක්කොඩි මහත්මියගේ ජයග්‍රහණය ගැන මීට පෙර ලිපියෙන් අපි ඔබට ගෙන ආවා. මේ ඇයට දෙවෙනි නොවූ, නවසීලන්තය වෙනුවෙන් උදාර මෙහෙවරක් ඉටුකළ රවීන් අන්නාමලෙයි (Mr Raveen Annamalai) මහතා ගැනයි.

නවසීලන්තයේ විවිධ වාර්ගික ප්‍රජාවන් වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී සහ අමිල මෙහෙවර අගය කරමින්, ඔහුටද මෙවර බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ නාමයෙන් පිරිනමනු ලබන කීර්තිමත් “The King’s Service Medal” (රජුගේ සේවා පදක්කම) පිරිනමා තිබෙනවා.

🔴 රවීන් මහතාගේ වසර 15ක නොසැලෙන කැපවීම.

2008 වසරේ සිට වෙලින්ටන් (Wellington) නුවර කේන්ද්‍ර කරගනිමින් බහුසංස්කෘතිකවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා රවීන් මහතා දැවැන්ත දායකත්වයක් සපයා තිබෙනවා. විශේෂයෙන්ම 2009 වසරේදී “Wellington Mutamizh Sangam” (දෙමළ භාෂා සහ සංස්කෘතික සංගමය) ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඔහු, දෙමළ භාෂාව, සංස්කෘතිය සහ විවිධ ජාතීන් අතර අන්‍යෝන්‍ය සන්නිවේදනය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.
එමෙන්ම 2020 සිට 2023 දක්වා නවසීලන්ත දෙමළ සංගම් සම්මේලනයේ (Aotearoa New Zealand Federation of Tamil Sangam) සමාරම්භක සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළා.

🔴 රාජ්‍ය මට්ටමේ නායකත්වය සහ සංස්කෘතික පාලම.

රවීන් මහතාගේ සේවය එක් ප්‍රජාවකට පමණක් සීමා වූයේ නැහැ. ඔහු,

👉🏻 2014 – 2019: වෙලින්ටන් බහුසංස්කෘතික කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කළා.

👉🏻 2017 – 2020: නවසීලන්ත බහුසංස්කෘතික ආයතනයේ (Multicultural New Zealand) උප සභාපති ලෙස කටයුතු කළා.

මේ හරහා නවසීලන්තයේ කුඩා ජන කොටස් සහ රජයේ ආයතන අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීමට ඔහු සමත් වුණා. වෙලින්ටන් නගර සභාවේ “වාර්ගික උපදේශක මණ්ඩලය” (Ethnic Advisory Board) පිහිටුවීමටද ඔහු මූලිකත්වය ගත්තා.

එපමණක් නොව, නවසීලන්තයේ ආදිවාසී මාඕරි (Māori) ප්‍රජාව සහ දෙමළ ප්‍රජාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් මෙහෙයවීම ඔහුගේ සුවිශේෂී ජයග්‍රහණයක්. 2011 රග්බි ලෝක කුසලාන උත්සවය සහ 2015 දීපවාලි උත්සවය වැනි දැවැන්ත බහුසංස්කෘතික ඉසව් සාර්ථක කර ගැනීමටද ඔහු ඔහුගේ නායකත්වය ලබා දී තිබෙනවා.

විදේශයක ජීවත් වුවද, තමන් උපන් බිමෙන් දායාද වූ සහජීවනයේ සහ සාමයේ පණිවිඩය පෙරදැරිව, විවිධ සංස්කෘතීන් යා කරන පාලමක් ලෙස කටයුතු කරමින් රවීන් අන්නාමලෙයි මහතා ලබාගත් මෙම ජාත්‍යන්තර ඇගයීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මහත් ආඩම්බරයකි.

රවීන් අන්නාමලෙයි මහත්මයනි, රටක් ලෙස අප ඔබට හිස නමා ආචාර කරමු! ලෝක සිතියම තුළ ශ්‍රී ලාංකේය නාමය තව තවත් බැබළවීමට ඔබට ශක්තිය ලැබේවායි ආඩම්බර ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැම ඔබට හදවතින්ම සුබ පතන්නෙමු! 💐🇳🇿🇱🇰

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *