
සුළුතර ආගමික සහ ජනවාර්ගික ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් දැඩි ප්රකෝපකාරී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන්, Destiny Church හි නායක බ්‍රයන් ටමාකිට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස නවසීලන්ත හින්දු මණ්ඩලය එරට පොලිසියෙන් නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉක්මවා ගිය, සුළුතර ජන කොටස් බිය ගැන්වීමක් සහ හිරිහැරයක් බව දේශපාලන හා ආගමික නායකයන් රැසක් පවසනවා.
🔴 සුළුතර ආගම්වලට දිගින් දිගටම එල්ල වන බාධා.
ටමාකිගේ “True Patriots of NZ” ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් පසුගිය වසර පුරා නවසීලන්තයේ වෙසෙන ක්‍රිස්තියානි නොවන අනෙකුත් ආගමික කණ්ඩායම්වල සාමකාමී උත්සව කඩාකප්පල් කිරීමට කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන්ම, මනුරේවා සහ ටවුරන්ගා ප්‍රදේශවල පැවැත්වුණු සාම්ප්‍රදායික සීක් ආගමික පෙරහැර දෙකකට මොවුන් බාධා පමුණුවා ඇති අතර, එහිදී Māori සංස්කෘතික “හකා” නර්තනය ප්‍රදර්ශනය කරමින් “මේක නවසීලන්තය, ඉන්දියාව නෙවෙයි” යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කර තිබෙනවා.
තම ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් ටමාකි සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ, “ඔබ මෙහි පැමිණෙනවා නම් නවසීලන්තයේ ක්‍රමවලට හැඩගැසිය යුතුයි. වෙනත් රටවල ආගම්, බෙදීම් හෝ දේශපාලන බල අරගල මෙහි රැගෙන නොආ යුතුයි” යනුවෙනි.
🔴 “හකා” නර්තනය අවභාවිත කිරීම ගැන මවුරි නායකයින්ගෙන් දැඩි විරෝධයක්!
මෙම සිදුවීමත් සමඟ නවසීලන්තයේ ස්වදේශික මවුරි නායකයින්ගෙන් ටමාකිට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මාකවුරාවූ පාර්ලිමේන්තු මන්ත්‍රී Oriini Kaipara ප්‍රකාශ කළේ තමන්ගේ පූජනීය සංස්කෘතික නර්තනයක් වන “හකා” මෙලෙස මිනිසුන් බිය ගැන්වීමට යොදා ගැනීම පිළිකුල් සහගත බවයි.
“එතන සිද්ධ වුණේ සාමකාමී විරෝධතාවයක් නෙවෙයි. මිනිස්සුන්ව කොන් කරන්න තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය අවභාවිත කිරීමක්. අපේ සංස්කෘතියට අනුව පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම සහ ගරු කිරීම අපේ වගකීමක්. ‘හකා’ කියන්නේ දේශපාලන හිරිහැර කිරීම් සඳහා පාවිච්චි කරන මෙවලමක් නෙවෙයි.”
🔴 පොලිසියට එල්ල වන දැඩි බලපෑම, ටමාකිට මොකද වෙන්නේ?
හින්දු මණ්ඩලයේ මෙම නිල පැමිණිල්ලත් සමඟ, බ්‍රයන් ටමාකිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නවසීලන්ත පොලිසියට දැඩි මහජන බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. ටමාකි මීට පෙරද අවසරයකින් තොරව මහාමාර්ග වසා දමමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් අයෙකි.
වාර්ගික සහ ආගමික වෛරී ප්‍රකාශ තවදුරටත් වර්ධනය වීමට පෙර පොලිසිය මැදිහත් විය යුතු බව සිවිල් සංවිධාන පවසන අතර, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව නවසීලන්ත පොලිසිය තහවුරු කර තිබෙනවා.

0 Comments