
නවසීලන්ත වැසියන්ට සහ එහි ස්වදේශික Māori ජනතාවට වසරේ එළඹෙන සුවිශේෂීම සහ අතිශය සුන්දරම සංස්කෘතික මංගල්‍යය වන්නේ Matariki උත්සවයයි. Matariki යනු සැබවින්ම නවසීලන්තයේ ශීත සෘතුවේ (මැයි අග සිට ජූලි මුල දක්වා කාලයේ) අලුයම් කාලයේදී ඊසානදිග අහසේ පායන සුවිශේෂී තරු පොකුරකි. බටහිර තාරකා විද්‍යාවේ මෙය Pleiades හෙවත් කෘත්තිකා තරු පොකුර ලෙස හැඳින්වේ. මෙම තරු රටාව අහසේ දර්ශනය වීමත් සමඟ මාඕරිවරුන්ගේ අලුත් අවුරුද්ද උදාවීම සනිටුහන් වෙයි.
🔴 Matariki උත්සවයේ ප්‍රධාන කුළුණු 3.
මාඕරි සංස්කෘතියට අනුව Matariki සැමරුම ප්‍රධාන අංග තුනක් මත පදනම් වේ:
👉🏻 අතීතය සිහිපත් කිරීම (Remembrance): ඉකුත් වසරේ අපෙන් සමුගත් ආදරණීයයන් ගෞරවයෙන් මතක් කිරීම.
👉🏻 වර්තමානය සැමරීම: පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් එකට එකතු වී, රසවත් ආහාර පාන බෙදාගනිමින්, ගීත ගයමින් වර්තමානය සතුටින් ගත කිරීම.
👉🏻 අනාගතයට සුබ පැතීම: උදාවන නව වසර සාර්ථක කරගැනීමට බලාපොරොත්තු තබාගැනීම සහ සැලසුම් සකස් කිරීම.
🔴 අහසේ දිදුලන තරු නවයේ රහස.
Matariki තරු පොකුරේ තරු සිය ගණනක් තිබුණත්, පියවි ඇසට පැහැදිලිව පෙනෙන්නේ තරු නවයක් (9) පමණි. මාඕරි විශ්වාසයන්ට අනුව මෙයින් සංකේතවත් වන්නේ ‘Matariki’ නම් මව සහ ඇගේ දියණියන් අටදෙනායි. මෙම සෑම තරුවකටම සොබාදහම හා බැඳුණු සුවිශේෂී බලයක් පවතින බව ඔවුන් විශ්වාස කරයි:
- මතාරිකී (Matariki): බලාපොරොත්තුව, පරිසරය සහ මිනිස් සුවසෙත.
- පෝහුටුකාවා (Pōhutukawa): මියගිය අයගේ ආත්මයන් සිහිපත් කිරීම.
- ටුපුවානුකු (Tupuānuku): පොළොවෙන් ලැබෙන අස්වැන්න සහ ආහාර.
- ටුපුවාරංගි (Tupuārangi): අහසින් හෝ ගස්වැල්වලින් ලැබෙන ආහාර (කුරුල්ලන්, පලතුරු).
- වයිටී (Waitī): ගංගා, ඇළ දොළ සහ මිරිදිය ජීවීන්.
- වයිටා (Waitā): මහා සාගරය සහ මුහුදු ආහාර.
- වයිපුනා-ආ-රංගි (Waipuna-ā-Rangi): වැස්ස, හිම සහ පින්න.
- උරුරංගි (Ururangi): සුළඟ.
- හිවා-ඉ-ටෙ-රංගි (Hiwa-i-te-Rangi): සිහින සහ ප්‍රාර්ථනා ඉටුකර දෙන “සුබ පැතුම් තරුව”.
පැරණි කාලයේ මෙම තරු රටාව ඉතා දීප්තිමත්ව පායා තිබුණහොත්, එය ඉදිරි වසරේ සාරවත් අස්වැන්නක් ලැබෙන බවට පෙරනිමිත්තක් ලෙස සැලකුණි.
🔴 අද දවසේ මතාරිකී සැමරුම.
වර්තමානයේ මතාරිකී යනු නවසීලන්තයේ නිල රජයේ නිවාඩු දිනයකි. 2026 වසරේදී මෙම තරු රටාවේ නැවත නැගී සිටීම ජූලි 8 සිට 11 දක්වා කාලය තුළ සිදුවන අතර, නිල නිවාඩු දිනය ජූලි 10 සිකුරාදා දිනට යෙදී ඇත. ජාති, ආගම් භේදයකින් තොරව සැවොම එකතු වී එකිනෙකාට ආදරය බෙදාගන්නා, සොබාදහමට ස්තූතිවන්ත වන මෙම අපූර්ව සංස්කෘතික මංගල්‍යය මුළු ලෝකයටම කියා දෙන්නේ සහජීවනයේ අපූර්ව පාඩමයි.
ඔබ සැමට සුභ Matariki දිනයක් වේවා!

0 Comments