
නවසීලන්තයේ ගිස්බෝන් (Gisborne) නගරයට ඉහළින් පිහිටි කයිටි (Kaiti) කඳුකරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත ටිබෙට් බෞද්ධ ස්තූපයක් සහ ආශ්‍රම ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ. ‘සිසිල් චෝකි ගට්සාල්’ (Zhyisil Chokyi Ghatsal) පුණ්‍යායතන භාරය වෙනුවෙන් මෙහි ප්‍රධාන සංවර්ධක මයිකල් බැරක්ලෝ (Michael Barraclough) ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය මවුරි ආදිවාසී කණ්ඩායම්වලින් එල්ල වූ දීර්ඝ කාලීන විරෝධය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ලෝකයේ මුලින්ම හිරු උදාව දර්ශනය වන කලාපයක් ලෙස ප්‍රසිද්ධ මෙම භූමියේ, සාමයේ සංකේතයක් ලෙස මීටර් 20ක් (අඩි 65ක්) උසැති මහා ස්තූපයක්, භාවනා මධ්‍යස්ථාන, පොදු උද්‍යානයක් සහ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම මෙම බහු-මිලියන ඩොලර් ව්‍යාපෘතියේ අරමුණ වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම භූමිය තමන්ගේ සංස්කෘතික උරුමයක් බව පවසමින් එහි වෙසෙන ‘න්ගාටි වන්වන්’ (Ngāti Oneone) නමැති ආදිවාසී ප්‍රජාව මෙයට දැඩි ලෙස විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටින්නේ තම අනන්‍යතාවය පවතින කඳුකරය මත විදේශීය ආගමික ස්මාරකයක් ඉදිකිරීමට එකඟ විය නොහැකි බවයි. ප්‍රදේශයේ සමස්ත ජනගහනයෙන් බෞද්ධයන් සිටින්නේ 0.3%ක් තරම් සුළු ප්‍රමාණයක් වීම ද මෙම විරෝධතාවලට තවත් හේතුවක් විය.
සංස්කෘතික ගැටුම්, ආදිවාසීන් සමග පවතින මතභේද සහ තවත් වසර කිහිපයක් ඇදී යාමට නියමිතව තිබූ නීතිමය අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන්, අවසානයේ මෙම සුපිරි බෞද්ධ විහාර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සංවර්ධකයන්ට සිදුව ඇත.

0 Comments