
ඉංග්‍රීසි භාෂා පනත (English Language Bill) නවසීලන්ත පාර්ලිමේන්තුවේදී තෙවන සහ අවසන් වරටත් සම්මත වීමත් සමඟ, මාඕරි (Te Reo Māori) සහ සංඥා භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි භාෂාවට ද එරට නිල භාෂා තුළ සම තත්ත්වය හිමිව තිබේ. ප්‍රධාන වශයෙන් එදිනෙදා භාවිතයේ සහ රාජ්‍ය පාලනයේ පැවතියද, මෙතෙක් කල් ඉංග්‍රීසි භාෂාවට නීතිමය වශයෙන් නිල භාෂාහි සම තත්ත්වයක් හිමිව නොතිබූ අතර, මෙම පිටු දෙකක පනත මගින් එම නීතිමය අඩුව සම්පූර්ණ කර ඇත. අමාත්‍ය පෝල් ගෝල්ඩ්ස්මිත් (Paul Goldsmith) විසින් ඉදිරිපත් කරන ලද මෙම පනත, රජයේ මූලික ප්‍රමුඛතාවයක් නොවූවත් සන්ධාන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි අතර, එය නීතිගත කිරීම මගින් මාඕරි හෝ සංඥා භාෂාවලට හිමි නීතිමය ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව පනත වෙනුවෙන් පෙනී සිටි ‘New Zealand First’ පක්ෂයේ මන්ත්‍රී කේසි කොස්ටෙලෝ (Casey Costello) සඳහන් කළාය.
කෙසේ වෙතත්, මෙම පනත සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල විය. Green පක්ෂයේ මන්ත්‍රී Tamatha Paul සහ Te Pāti Māori පක්ෂයේ මන්ත්‍රී Oriini Kaipara පෙන්වා දුන්නේ, මාඕරි භාෂාවට නිල තත්ත්වය ලබාගැනීමට දේශීය ජනතාවට දැඩි අරගලයක් කිරීමට සිදු වූ බවත්, දැනටමත් රටේ ප්‍රධාන වශයෙන් භාවිත වන ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් මෙලෙස කාලය වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බවත්ය. Labour පක්ෂයද මෙම පනත සරල සහ තේරුමක් නැති එකක් ලෙස හඳුන්වමින් විවේචනය කළද, අවසානයේ ඊට පක්ෂව ඡන්දය භාවිත කළේය. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා කෙටි අදහස් දැක්වීම්වලට පමණක් සීමා වෙමින් කියා සිටියේ, පනත සම්මත වීමට පෙර මෙන්ම පසුවද පාර්ලිමේන්තුවේ සහ රටේ ප්‍රධාන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව තවදුරටත් පවතින බවයි.

0 Comments