
ජල ගාස්තු අධික ලෙස ඉහළ නැංවීමට එරෙහිව නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර වැසියන් සිය ගණනක් පාර්ලිමේන්තු සංකීර්ණය අසලට රැස්වෙමින් දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ. අධික ලෙස ඉහළ යන ජල බිල්පත් හමුවේ දැඩි මුල්‍ය පීඩනයකට ලක්ව සිටින ප්‍රදේශවාසීන් සහ බදු ගෙවන්නන් මෙලෙස වීදි බැස ඇත්තේ ජල ගාස්තු පහත හෙලීමට සහ රජයේ මැදිහත්වීම ඉල්ලා සිටිමිනි.
වෙලින්ටන් කලාපයේ පවතින පැරණි නල පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ජල කාන්දුවීම් අලුත්වැඩියා කිරීම සඳහා පලාත් පාලන ආයතන විශාල පිරිවැයක් දැරීමට සිදුවීම මෙම ගාස්තු ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත. කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා පලාත් පාලන ආයතන විසින් සිදුකළ අතපසුකිරීම්වල බර තමන් මත පටවනවාට එරෙහිව ජනතාව මෙහිදී විරෝධය පළ කළහ. රට පුරාම ජල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පවතින ගැටලුවලට විසඳුම් සෙවීමේදී සාධාරණ ගාස්තු ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, ජනතාවට දැරිය හැකි මට්ටමකින් මෙම සේවාවන් පවත්වාගෙන යාමට රජය සහ නගර සභාව එකතුව කටයුතු කළ යුතු බවත් විරෝධතාකරුවන් මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළහ.

0 Comments